Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th December 2023 09:31:29 Hours

“පාබල මේලා” සැණකෙළිය - 2023

විරෝධාර රණවිරුවන්ගේ සුබසාධනය හා ජිවන ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය මගින් සංවිධානය කරණු ලැබූ "පාබල මේලා" සැණකෙළිය දෙසැම්බර් මස 22 හා 23 යන දෙදින තුළ සහරා ෆ්ලෑෂ් හා සනිධප සංගීත රසයෙන් දිවයිනේ සුප්‍රසිද්ධ ගී තරු පිරිවරා හික්කඩුව මහජන ක්‍රිඩාංගණයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. පාබල මේලා සැණකෙළිය මේ දක්වා වසර 8 ක් පාබල හමුදා රෙජිමේන්තුව මගින් සංවිධානය කළ අතර මෙවර 9 වෙනි පාබල මේලා සැණකෙළිය ප්‍රථම වරට පාබල හමුදා සංගමය විසින් සංවිධානය කරන ලදී.

2023 දෙසැම්බර් මස 22 වන දින පාබල මේලා සැණකෙළියේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වූ පාබල හමුදා සංගමයේ සාමාජික මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් සැණකෙළි භුමිය විවෘත කළ අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් සිදුවිය. එදින සහරා ෆ්ලැෂ් සංගීත රසයට එක්වූ යුද්ධ හමුදා නර්තන කණ්ඩායම සැණකෙළියට නව ආකර්ෂණයක් ගෙනඒමට සමත් විය.

සැණකෙළියේ දෙවන දිනය එනම් 2023 දෙසැම්බර් මස 23 වන දින පාබල මේලා සැණකෙළි පරිශ්‍රය පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රුවන් සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී සුරතින් විවෘත කළ අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් යුද්ධ හමුදා සේවාමුක්ථ භට සංගමයේ ගරු සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙදින යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ විචිත්‍රවත් නර්තනය සමගින් සනිධප සංගීත කණ්ඩය විසින් සංගීතය සපයන ලදී. සැණකෙලිය නැරඹීම සඳහා පාබල හමුදා සංගමයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් දැනට සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් හා හික්කඩුව ප්‍රදේශවාසීන්, විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

පාබල හමුදාවේ රණක්‍ෂිතයට පත් හා දැනට සේවයේ යෙදි සිටින රණවිරුවන්ගේ සුභසාධන කටයුතු ඉහළ නැංවිමේ උදාරතර අරමුණ පෙරදැරිව පාබල හමුදා විශ්‍රාමික සංගමය මගින් මෙවර පාබල මේලා සැණකෙළිය පවත්වන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වූ පාබල හමුදා සංගමයේ වත්මන් ගරු සභාපති ජෙනරාල් දයා රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව එතුමන්ගේ පූර්ණ මගපෙන්වීම මත සැණකෙළිය සංවිධානය කෙරිණි.