Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th March 2023 21:24:31 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් අභිමානවත් වු ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉපැරණි ඉතිහාසයට තවත් අමරණිය මතක සටහනක් එක් කරමින් 2022 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පාබල හමුදා සරඹ කණ්ඩායම සමත් විය. 2019 වසරේ ද සරඹ තාරඟාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මෙවර ද රෙජිමේන්තු 20 ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2023.03.14 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සමගින් පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවය හා කීර්තිය ඉහළ නැංවිම සදහා මෙම තරගාවලියට සහභාගි වූ නිලධාරින්, සෙසු නිලයින් දැක් වූ දායකත්වය විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදේස් හා මග පෙන්විම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වී ලැබු පුහුණුවෙහි අග්‍රඵලය පාබල හමුදා රෙජිමේන්තුවට මෙමගින් සාර්ථකව නෙලා ගැනීමට හැකි වූ අතර, තරගාවලියේ දී දක්ෂතම සරඹ කණ්ඩායම හා හොඳම අණදෙන්නා යන ඉසව් දෙකෙහිම ප්‍රථම ස්ථානය හා තරඟාවලියට සමගාමිව පැවැත් වූ පියවර කෝදු තරගාවලියේ ද 5 වෙනි ස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් හිමිකරගන්නා ලදී.

මෙම සුවිශේෂී ජයග්‍රහණය උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු නිලධාරීන්ටත්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම ජ්‍යේකොනින් හා සෙසුනිලයින්ටත් රෙජිමේන්තු අධිපති විසින් තම කෘතඥතාවය පිළිගන්වන ලදී.