09th October 2024 13:09:55 Hours
වසර 36 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑම නිමිතිකොටගෙන රෙජිමේන්තු ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පුදකරන ලද කඳවුරු මුරයෙන් පසුව ගෞරවාන්විත සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව "අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සමූහ ඡායාරූපයකට පෙනීසිටී රෙජිමේන්තු අධිපති විසින් රෙජිමේන්තු දේශන ශාලාවේදී තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට ඔවුන්ගේ අනාගත අභීවෘද්ධීන් සාර්ථකව ඉටුකරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාදුන් අතර, කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට එක්විය.
වර්ෂ 2024 ක්වූ ජනවාරි මස 15 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 17 වැනි රෙජිමේන්තු අධිපති ලෙස අභිනවයෙන් සිය රාජකාරී ඇරඹූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම මාර්ගෝපදේශනය හා අධීක්ෂණය යටතේ සිදුකර ඇත. ඒ අතරින් "BUGLERS' DEN" බහුවිධ පහසුකම් වෙළඳසංකීර්ණය අභිනවයෙන් ඉදිකිරීම, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෙතෙක් අඩුපාඩුවක්ව පැවති සේනාවිධායක නිල නිවස්නය මෙන්ම රාජකාරී කටයුතු සඳහා බළඇණිවෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන අණදෙන නිලධාරීවරුන්හට නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද අණදෙන නිලධාරී නිවාස සංකීර්ණය, සෙසුනිල නිවාඩු නිකේතනය අභිනවයෙන් ඉදිකිරීම, රාජකාරියේ නියුතු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ ආධ්‍යාත්මික චින්තනය වර්ධනය කිරීම උදෙසා මාසිකව ධර්ම දේශනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති පාබල විරුවන් වෙනුවෙන් අර්ධ නිවාසාධාර වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර රණවිරුවන්හට නිවාස ඉදිකරදීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. එමෙන්ම මෙම රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයන්ගේ දැනුම වර්ධනය කරනුවස් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ අතරින් බළඇණී අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන්, විධායක අධිකාරීවරුන්, බළඇණීවල රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙත විශේෂ වැඩමුළු පවත්වා තම ක්ෂේත්රය පිළිබඳව සුවිශාල දැනුම් සම්භාරයක් ලබාදීම සුවිශේෂීවේ. තවද රෙජිමේන්තු අධිපති කාලසීමාව තුලදී මෙතුමන්ගේ නායකත්වය යටතේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ, පියවර කෝදු, තූර්යවාදක තරඟාවලියේ හා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීම් හා ක්‍රීඩා තරඟාවලියන්හි සුවිශේෂි දස්කම් ප්‍රදර්ශණය කරන ලදී.
මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක්කරමින් යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහා කාරකසභාවේ ජ්‍යේෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එස්ඒඑන්ඩී එද්රිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. අනතුරුව නික්ම යන රෙජිමේන්තු අධිපති විසින් තම අනුප්‍රාප්තිකයා වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නවතමයෙන් රාජකාරී භාරගැනීමට නියමිත 18 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සංකේතාත්මකව රෙජිමේන්තු අධිපති යෂ්ටිය භාරදෙමින් සිය ධූරයෙන් නික්ම යන ලදී. විශ්‍රාම යන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වෙනි රෙජිමේන්තු අධිපතිතුමණි, ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ ශුභාශිංසන මෙලෙස එක්කරන්නෙමු.