Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th July 2023 13:01:45 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන 15 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

වසර 36 ක් වැනි දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2023 ජූලි මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි, රෙජිමේන්තු අධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පුදකරන ලද කඳවුරු මුරයෙන් පසුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය අභියස දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි රෙජිමේන්තු අධිපති තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට දේශන ශෘලාවේදී හරවත් දේශනයක් සිදුකිරීමෙන් පසු කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට එක්විය.

වර්ෂ 2022.11.26 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 15 වැනි රෙජිමේන්තු අධිපති ලෙස අභිනවයෙන් සිය රාජකාරි ඇරඹූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම මාර්ගෝපදේශනය හා අධීක්ෂණය යටතේ සිදුකර ඇත. ඒ අතරින්, සෙසුනිලයින් වෙනුවෙන් "සී" භටනිවාසය ප්‍රතිසංස්කරණය කිරීම, රෙජිමේන්තු සැරයන් මේජර් නිල නිවස්නය ඉදිකිරීම, රෙජිමේන්තු පැසිපන්දු ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර මට්ටමේ පැසිපන්දු ක්‍රීඩා පිටියක් ලෙස ඉදිකිරීම, රෙජිමේන්තු කාර්යාල සංකීර්ණය සහිත තෙමහල් මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම, සියලු උපාංග වලින් සමන්විත අංග සම්පූර්ණ නව කරණවෑමිහලක් ඉදි කිරීම, සියලු පහසුකම් වලින් සමන්විත බූස්ස අති නවීන උත්සව ශාලාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව හා බීමහල ඉදිකිරීමට කටයුතු කිරීම, ආර්ථික අපහසුතා ඇති තෝරාගත් සොල්දාදුවන් වෙනුවෙන් බළඇණි මට්ටමින් නිවාස ලබාදීමේ උදාර සංකල්පය ක්‍රියාත්මත කිරීම හා එමගින් නිවාස 20 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඉන් නිවාස 17 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු කිරීම, නිවැරදි මගපෙන්විම තුළින් 2022 වසරේ අන්තර් රෙජිමේන්තු සරඔ තරගාවාලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට හැකිවීම හා බුස්ස උත්සව ශාලාවෙහි සෝලා පැනල පද්ධතියක් සවිකර රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත අදායමක් ඉපදිිය හැකි ව්‍යාපෘතියක් හඳුන්වාදීම ආදී යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසක් පාබල හමුදා රෙජිමේන්තුවට දායාද කරන ලදී.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහි දී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක්කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 16 වැනි රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිත මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. මෙම උත්සව මාලාවේ සියලු කටයුතු මධ්‍යස්ථාන සේනාවිධායකගේ මගපෙන්වීම මත මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ විශ්‍රාම දිවිය සෞඛ්‍යසම්පන්න වාසනාවන්ත වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ ශුභාශිංසන එක්කරන්නෙමු.