Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st December 2022 15:02:44 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන 14 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

වසර 36 ක් වැනි දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 නොවැම්බර් මස 25 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පුදකරන ලද කඳවුරු මුරයෙන් පසුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසයේ තවත් එක් ඓතිහාසික ආවස්ථාවක් සනිටුහන් කරමින් ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ නැවත ස්ථාපනය කරන ලද 3 වන ශ්‍රීලපාහ බළඇණියේ ධජ පිරිනැමීම සිදුකළ අතර, පසුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ''වයිට් හැකල්" පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය සඳහා එක් විය. රණවිරු ස්මාරකය අභියස දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි රෙජිමේන්තු අධිපතිතුමන් තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකිරීමෙන් පසු කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරක නියැලෙන්නට විය.

වර්ෂ 2021.04.21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 14 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් සිය රාජකාරි ඇරඹූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම මාර්ගෝපදේශනය හා අධීක්ෂණය යටතේ සිදුකර ඇත. ඒ අතරින්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ, සෙසුනිලයින් වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ''බී" භට නිවාසය අලුත්වැඩියා කිරීම, බනිසැර නිවස්නයේ අංක 02 නේවාසිකාගාරය අලුත්වැඩියා කිරීම, කඳවුරු අභ්‍යන්තර මාර්ග කෝන්ක්‍රීට් හා ඉන්ටලොක් ගල් යොදා සැකසීමට කටයුතු කිරීම, බෝධිය වටා රන් වැටක් ඉදිකිරීම, පානීය ජල බෝතල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේ සිට 1 ශ්‍රීලපාහ පිවිසුම දක්වා ඇවිදින මන්තීරුවක් සකස් කිරීම, රෙජිමේන්තු පරිගණක අංශය නවීන පරිගණක සමගින් නවතමයෙන් ස්ථාපිත කිරීම හා රෙජිමෙzන්තුව වෙත සහ බළඇණියන්හි ප්‍රයෝජනය සඳහා නව පරිගණක යන්ත්‍ර 30 ක් ලබාදීමට කටයුතු කිරීම, ජාලගත තොරතුරු තාක්ෂණ අංශයක් සිථාපිත කිරීම, රෙසැමේ නිල නිවස්නය ඉදිකිරීම සදහා මුල්ගල තැබීම, සෙසුනිල භෝජනාගාර ගොඩනැගිල්ලෙහි විදුලි සෝපානයක් සවිකිරීම, සෙසුනිල පරිහරණය සදහා දෙමහල් වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම, නිලධාරී නිවස්නයේ බීමහල නවීකරණය කිරීම, රෙජිමේන්තුවට නව පුස්තකාලයක් ස්ථාපිත කිරීම, වසර 03 කට පසුව පාබලමේලා සැණකෙළිය නැවත පැවැත්වීම, බූස්ස කඳවුරේ නිලධාරීන් හා සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නිවාඩු නිකේතනයක් ස්ථාපිත කිරීම හා 3 ශ්‍රීලපාහ බළඇණිය නැවත නගාසිටුවීම ආදී යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසක් පාබල හමුදා රෙජිමේන්තුවට දායාද කිරීමට කටයුතු කරන ලදී.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය. එහි දී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 15 වැනි රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිත මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. මෙම උත්සව මාලාවේ සියලු කටයුතු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීමෙන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මේ සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී විය. විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ විශ්‍රාම දිවිය සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ ශුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.