Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th May 2024 22:37:55 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 29 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත් වූ බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන පාබල හමුදා රෙජිමේන්තුවේ 29 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2024.05.06 වන දින සුබ මොහොතින් ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ මෙතුමන් පාසල් අධ්‍යාපනයෙන් පසු එවකට රට තුළ පැවති කුරිරු ත්‍රස්ථවාදය තුරන් කිරිමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1992 පෙබරවාරි මස 10 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වී පාඨමාලා අංක 37 (PMA) යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිමා කර 1992 දෙසැම්බර් මස 19 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 8 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකූ ලෙස එක්වන ලදී. එම බළඇණියේ නිලධාරී අණදෙන දක්වා දැරිය යුතු සියලුම තනතුරු හොබවා, 3 වන ශ්‍රීලපාහ බළඇණියේ නිලධාරී අණදෙන මෙන්ම 19 වන ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරි වශයෙන් අනගිභවනීය සේවාවක් ඉටුකර 4 සහ 11 ශ්‍රීලපාහ බළඇණි මෙහෙයවීමේ නියමුවාවීමේ භාග්‍යද උදාකරගන්නා ලදී.

තවද, මෙම නිලධාරි විසින් හොබවන ලද අනෙකුත් තනතුරු අතර, මානි 2 (පාලන) - පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධි සහායක, මේජර් (පාලන/භකාස) - 521 පාබල බළසේනා මූලස්ථානය, මානි 1 - ගමන් පාලන අධ්‍යක‍්ෂ මණ්ඩලය, අණදෙන නිලධාරී - ජ්‍යේෂ්ඨ ආරක‍්ෂක සම්බන්ධිකරණ නිලධාරි කාර්යාලය යුහමූ, ප්‍රමානි 1 - සමූහ මෙහෙයුම් ආඥාපති, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක - රෙම ශ්‍රීලපාහ, බලසේනාධිපති - 223 පාබල බලසේනාව, බලසේනාධිපති - 142 පාබල බලසේනාව වැනි වගකිම් සහිත තනතුරු රාශියක් හොබවා අත්දැකීමෙන් සහ දැනුමෙන් පරිපූර්ණවූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ජ්‍යේෂ්ඨ අණදෙන්නෙකු හා විශිෂ්ට මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් සිය වෘත්තිමය නිම් වලලු පුලුල් කර ගැනීම උදෙසා දේශීය සහ විදේශීය පාඨමාලා, රැසක් හදාරා අත්දැකීමෙන් පරිපූර්ණවූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මෙතුමන් ඒකක බුද්ධි ආරක‍්ෂක පාඨමාලාව, ඒකක ගිණුමිකරණ පාඨමාලාව, මුලික පැරෂුටි පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පාඨමාලාව - පකිස්ථානය, තරුණ නිලධාරි පාඨමාලාව - පකිස්ථානය, කණිෂ්ඨ අණදෙන්නගේ පාඨමාලාව - ඉන්දියාව, බළඇණි ආධාරක අවි පාඨමාලාව - ඉන්දියාව, ආපදා කළමණාකරන වැඩමුලුව - බංග්ලාදේශය, උසස් ආරක්ෂක අනුගතවීමේ පාඨමාලාව - ඉන්දියාව වැනි පාඨමාලා රැසක් හදාරා ඇත. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක පාඨමාලාව කුකුලේගඟ වෙතින් හදාරා ඇති අතර, හයිටි රාජ්‍ය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා තම දායකත්වය ලබාදී ඇත.

තවද හසල දැනුමින් පරිපූර්ණ වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මානව හිමිකම් සහ සාමය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, පරිගණක මෘදුකාංග පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, වීඩියෝ සංකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ආපදා විශ්ලේෂණ කළමණාකරණ පරිපාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, ඔලිම්පික් සහයෝගිතා ක්‍රීඩා පරිපාලනය පිළිබඳ පාඨමාලාව, මෙහෙයුම් නීතිය පිළිබඳව අණදෙන්නන්ගේ පාඨමාලාව, ආපදා විශ්ලේෂණ කළමණාකරණ පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරා ඇත. මීට අමතරව දේශීය වැඩමුලු රැසකට සහභාගිවී ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉරානය, ඉන්දියාව සහ බංගලාදේශ වැනි රටවල පැවැති විදේශීය වැඩමුලු රැසක් ස‍ඳහා සහභාගිවී ඇත.

එමෙන්ම, 1992 වර්ෂයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම දක්වා යුධ හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් ලබාදී ඇති අතර, රුදුරු ත්‍රස්ථවාදින්ට එරෙහිව දියත් කරන ලද ක්‍රියාවිතයන්හි ප්‍රදර්ශනය කරන ලද වික්‍රමාන්විත රණකාමිත්වය ඇගයිම වස් මෙතුමන් හට රණ වික්‍රම පදක්කම දෙවරක්ද, රණශූර පදක්කම දෙවරක් හා නිකළැල් යුද්ධ හමුදා සේවය උදෙසා පිදෙන උත්තම සේවා පදක්කම යන පදක්කම් හිමි ගන්වා ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 29 වන සේනාවිධායක ධූරය භාරගැනීම පිණිස රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී සුබ මොහොතින් ධූරයේ රාජකාරී අරඹන ලද අතර, නව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත අභිමානවත් කඳවුරු මුරයක් සහ සම්මාන පෙලපාලියක් ලබාදී පිලිගැනිමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියස දී මියගිය රණවිරුවන් සිහිකිරීම වස් පුෂ්පෝපහාර පුද කර පැමිණ සිටි සියලු නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පසුව භට පිරිස් අමතා හරවත් දේශනයක් සිදුකර කොනොනි සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයටද සහභාගී විය.

නවතමයෙන් පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ධුරය භාරගත් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි හට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.