Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th December 2023 22:42:27 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 28 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත් වූ කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී

ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන පාබල හමුදා රෙජිමේන්තුවේ 28 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් රුවන් සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023.12.08 වන දින සුබ මොහොතින් ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ මෙතුමන් පාසල් අධ්‍යාපනයෙන් පසු එවකට රට තුළ පැවති කුරිරු ත්‍රස්ථවාදය තුරන් කිරිමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1993 දෙසැම්බර් මස 31 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වී දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිමා කර දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 7 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකූ ලෙස එක්වී එම බළඇණියේ දෙවන අණදෙන නිලධාරී දක්වා දැරිය යුතු සියලුම තනතුරු හොබවා ඇත. එමෙන්ම, 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් එම බළඇණියේ උන්නතිය උදෙසා අනගිභවනීය සේවාවක් සිදුකර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

තවද, මෙම නිලධාරි විසින් හොබවන ලද අනෙකුත් තනතුරු අතර, නිලධාරි අණදෙන - අගමැති ආරක්ෂක අංශය, නිලධාරි අණදෙන - ජනාධිපති ආරක්ෂක සේනාව, නිලධාරී අණදෙන - 11 වන එක්සත් ජාතීන්ගේ සාම සාධක බළඇණිය (හයිටි රාජ්‍යය), මානි 1 (පාලන) - රෙජිමේන්තු මධ්‍යස්ථාන රෙම ශ්‍රීලපාහ, ප්‍රධාන උපදේශක - පාබල පුහුණු පාසල 22 වන පාබල සේනාංකය තාවුල්වැව, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක - රෙම ශ්‍රීලපාහ සහ වැ:බ මධ්‍යස්ථාන සේනාවිධායක - රෙම ශ්‍රීලපාහ වැනි විශාල වගකිම් සහිත තනතුරු රාශියක් හොබවා අත්දැකීමෙන් සහ දැනුමෙන් පරිපූර්ණවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු හා විශිෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් සිය වෘත්තිමය නිම් වලලු පුලුල් කර ගැනීම උදෙසා දේශීය සහ විදේශීය පාඨමාලා, වෘත්තිමය අධ්‍යාපන සුදුසුකම් සහ විදේශීය රටවල්හී ආරක්‍ෂක රාජකාරින් රැසක් සිදුකර ඇති අත්දැකීමෙන් පරිපූර්ණවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ආත්ම විශ්වාසය හා දරා ගැනීම ඉහල නැංවිමේ කමාන්ඩෝ පාඨමාලාව, මුලික බුද්ධි පාඨමාලාව, බලඇණි අධාරක අවි පාඨමාලාව, මුලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබිමේ පාඨමාලාව, විශේෂ පුද්ගලයින් ආරක්ෂා කිරීමේ පාඨමාලාව, එක්සත් ජාතින්ගේ යුධ නිරීක්ෂණ හා මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, ඒකක වෙඩික්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව, මුලික පරිඝණක පාඨමාලාව, තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, ප්‍රථිතස්ත යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලාව - ඉන්දියාව, විශේෂ පුද්ගලයින් ආරක්ෂා කිරීමේ (බැලක් කැට්) පාඨමාලාව - ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මුලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, විශේෂ පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පාඨමාලාව - යුක්රේනය, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - බංග්ලාදේශය, ජනාධිපති ආරක්ෂක රාජකාරි - ඇමරිකා එක්සත් ජනපදය, ජනාධිපති ආරක්ෂක රාජකාරි - කියුබාව, එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි - හයිටි රාජ්‍යය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමාව, ආපදා කලමණාකරනය පිලිබඳ ඩිප්ලෝමාව, රාජ්‍ය කලමණාකරනය පිලිබඳව ශාෂ්ත්‍රපති උපාධිය වැනි පාඨමාලා රැසක් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හදාරා ඇත.

එමෙන්ම, 1995 වර්ෂයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම දක්වා යුධ හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදී ඇත. තවද, රුදුරු ත්‍රස්ථවාදින්ට එරෙහිව දියත් කරන ලද ක්‍රියාවිතයන්හි ප්‍රදර්ශනය කරන ලද වික්‍රමාන්විත රණකාමිත්වය ඇගයිම වස් මෙතුමන් හට රණශුර පදක්කම හිමි ගන්වා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 28 වන සේනාවිධායක ධූරය භාරගැනීම පිණිස රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සුබ මොහොතින් ධූරයේ රාජකාරි අරඹන ලද අතර, නව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත අභිමානවත් කඳවුරු මුරයක් සහ සම්මාන පෙලපාලියක් ලබාදී පිලිගැනිමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියස දී මියගිය රණවිරුවන් සිහිකිරීම වස් පුෂ්පෝපහාර පුද කර පැමිණ සිටි සියලු නිලධාරීන්/ සෙසුනිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පසුව භට පිරිස් අමතා හරවත් දේශනයක් සිදුකර කොනොනි සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයටද සහභාගී විය.

ඒ අනුව, නවතමයෙන් පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ධුරය භාරගත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.