Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th September 2022 06:20:57 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 27 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත් වූ කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

කර්නල් සුජිත් කුලසේකර ජ්‍යේෂ්ඨ නිලධාරී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, එම විද්‍යාලයේ ක්‍රිකට් හා රගර් කණ්ඩායම් නියෝජනය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණ අත්කර දී ඇති පාසල් දිවියේ විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වූ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. ඉන් පසුව එවකට රට තුළ පැවති කුරිරු ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් හමුවේ තම තරුණ කාලය ලක් මාතාව වෙනුවෙන් කැපකිරීමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1993 ජූලි 15 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී පාඨමාලා අංක 40 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිමා කරන ලදී.

වර්ෂ 1995 ජුනි මස 17 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 10 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකූ ලෙස එක්වී නිලධාරී අණදෙන තනතුර දක්වා දැරිය යුතු සියලුම තනතුරු හොබවන ලදී. තම රාජකාරි දිවියේ අත්දැකීම් එකතු කරගනිමින් 8 වන ශ්‍රීලපාහ බළඇණියේ ජ්‍යේෂ්ඨතම නිලධාරී අණදෙන වශයෙන් ''ඩී" කණ්ඩායම මෙහෙයවමින් එවකට පැවැති උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා ශ්‍රී ලංකාද්විපයේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරීම උදෙසා විශාල කාරයයභාරයක් ඉටු කරන ලද පරිනත ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, එම සමයේ දී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිදුකළ වික්‍රමාන්විතයන් හා දායකත්වය යුද්ධ හමුදාධිපතිගේ විශේෂ ඇගයීමකට ලක්වීම සුවිශේෂී වූ කරුණකි. 8 වන ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි කිරීමෙන් පසු 7 වන ශ්‍රීලපාහ බළඇණිය මෙහෙයවීමේ නියමුවෙකු වීමේ භාග්‍යය ද උදාකරගන්නා ලද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී වර්ෂ 2009 දී ලෝක සාම සාධක රාජකාරි වෙනුවෙන් හයිටි රාජ්‍යය බලා දිවයිනෙන් පිටත් වූ 11 වන සාම සාධක බළඇණියේ විධායක අධිකාරී වශයෙන් කටයුතු කළ මෙතුමන් වර්ෂ 1995 සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම අද්විතීය දායකත්වය ලබාදී ඇති හා එම ක්‍රියාන්විතයන්හී දී දක්වන ලද නිර්භීතභාවය හා අතිවිශිෂ්ට නායකත්වය වෙනුවෙන් අතලොස්සකට පමණක් හිමිගන්වනු ලබන වීර වික්‍රම විභූශණයෙන් ද, රණවික්‍රම පදක්කම් 03 කින් හා රණශූර පදක්කම් 02 කින් පිදුම් ලබා ඇත.

උපදේශක නිලධාරියෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී උපදේශක රාජකාරි - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, විධායක අධිකාරී - රෙම ශ්‍රීලපාහ, මාණ්ඩලික නිලධාරී 2 - පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 - ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි), ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර), සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කළුතර, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 - රෙම ශ්‍රීලපාහ හා කර්නල් උත්සව - පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය ආදී යුද්ධ හමුදාවේ සුවිශේෂී තනතුරු රැසක් හොබවා ඇත. තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී බුද්ධි නිලධාරී පාඨමාලාව, බැලස්ටයිල් පාඨමාලාව, කණිෂ්ඨ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හා කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරා ඇති අතර, ඉන්දියාවේ දී තරුණ නිලධාරී පාඨමාලාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ආපදා කළමනාකරණය හා අවමකිරීමේ ඩිප්ලෝමා පාඨමාලාව හා මූලික පැරෂුට් පාඨමාලාව හදාරා ඇත. තවද, කොළඹ විශ්වවිද්‍යාලය කළමනාකරණය සහ විශ්ලේෂනය පිළිබඳව විධායක ශ්‍රේණියේ ඩිප්ලෝමාව හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙතින් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධිය ද හිමිකරගෙන ඇති දැනුමින් පරිනත ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 27 වන සේනාවිධායක ධූරය භාරගැනීම පිණිස 2022. 09. 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත අභිමානවත් කඳවුරු මුරයක් ලබාදීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියස දී පුෂ්පෝපහාර පුදකරන ලදී. පැමිණ සිට සියලු නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු භට පිරිස් අමතා හරවත් දේශනයක් සිදුකරන ලද අතර, කොනොනි සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගීවන ලදී. අනතුරුව සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ධූරයේ රාජකාරි අරඹන ලද නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.