Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th January 2024 19:06:55 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සුබ මොහොතින් රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී භාරගැනීම සඳහා 2024 ජනවාරි මස 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි, නව රෙජිමේන්තු අධිපති ප්‍රධාන දොරටුව අභියස දී මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ගෞරවපූර්වකව පිළිගැනුණි. එහිදී කඳවුරු මුරයේ ගෞරවාචාරය ලබාගැනීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත පැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මහා කාරකසභාවේ ජ්‍යේෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් පිළිගැනීමෙන් පසුව රෙජිමේන්තු ධජය ඔසවා රෙජිමේන්තු ගීතය ගායනාකර රෙජිමේන්තුව වෙත තම ගෞරවාචාරය පුදකරන ලදී. ඉන් අනතුරුව එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, එහි දී නව රෙජිමේන්තු අධිපති වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාන්විත සම්මාන මුරයක් පුදකරනු ලැබීය.

පසුව රෙජිමේන්තු විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත් රෙජිමේන්තු අධිපති පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති කාර්යාලයේ දී පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරීන් භාරගත් රෙජිමේන්තු අධිපති නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කිරීම සඳහාද එක්විය. ඉන්පසු තම ඉදිරි දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කරමින් භටපිරිස් අමතා අගනා දේශනයක් සිදුකළ එතුමන් රටට තිරසාර සාමයක් උදාකිරීම වෙනුවෙන් දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම කෘතවේදීත්වය පුදකරන ලදී. අනතුරුව කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේපැන් සංග්‍රහයට සහභාගීවූ රෙජිමේන්තු අධිපති පැමිණ සිටි නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට ද එක් විය.

ඉන්පසුව රෙජිමේන්තු අධිපති විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බළඇණි අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන්, ඒකක වෙතින් පැමිණි කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම යුද හමුදාවේ විවිධ ස්ථානයන්හි රාජකාරි කරනු ලබන ශ්‍රීලපාහ කනිෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් සහ ශ්‍රීලපාහ ඒකකවල රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළුව සියලුම ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුළත් වන පරිදි වෙන් වෙන් වශයෙන් අවස්ථා දෙකකදී නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ආමන්ත්‍රණය කරන ලදී. මෙහිදී තම ඉදිරි දැක්ම හා පරමාර්ථයන් පිළිබඳව සව්ස්තරාත්මක දේශනයක් සිදුකළ අතර, එහිදී නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ලෙස සෙබළුන් නිනොසේනො වීම වැළැක්වීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ගේ ගැටළු සොයාබලා ඒ සඳහා විසඳුම් ලබාදියයුතු බවත්, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ඉදිරි ප්‍රගමනය සඳහා අවශ්‍ය දායකත්වය ලබාදිය යුතු බවත් එ් සඳහා නිලධාරීන් හා සෙසුනිලයන් විසින් හදාරනු ලබන දේශීය හා විදේශිය පාඨමාලා අවසානයෙහි ඔවුන් ලබාගත් දැනුම තම ඒකකයන්හි සහෝදර නිලධාරීන් හා සෙසුනිලයන් හට විශේෂ දේශන/වැඩමුළු පවත්වා ඔවුන්වෙත එම දැනුම බෙදාදිය යුතු බවත් අවධාරණය කරන ලදී.

තවද, තමන් යටතේ සිටින සියලු නිලතල දරන්නන් හා සෙබළුන් හට යුද්ධ හමුදාවේ නීතිරීති ආදිය පිළිබද දැනුම ලබාදීම, යුද හමුදාව විසින් ලබාදෙනු ලබන සියලුම සුබසාධන කටයුතු පිළිබඳව නිරන්තරයෙන් සොල්දාදුවන් දැනුවත් කිරීම මෙන්ම, රාජකාරි කටයුතු සඳහා නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරගනිමින් ඵලදායී හා කාර්යක්ෂම සේවයක් ලබාගැනීම සඳහා සොල්දාදුවන් උනන්දු කරවීම, සමාජ මාධ්‍යජාලා භාවිතයේදී නිරන්තරයෙන් සැළකිලිමත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය, ප්‍රවාහනය වැනි විනයවිරෝධී ක්‍රියා අවම කරමින් විනය උසස් මට්ටමකින් පවත්වාගැනීමට ක්‍රියා කිරිීම, ආර්ථික කලමණාකරණය තුළින් තම පවුල් සංස්ථාව ගොඩනගාගන්නා ආකාරය පිළිබඳව තම සව්ස්තරාත්මක දේශනයේදී වැඩිදුරටත් උපදෙස් හා දැනුම් සම්භාරයක් එම අවස්ථාවට සහභාගීවූ නිලධාරීන් හා සෙසුනිලයන් වෙත ලබාදෙන ලදී. අවසාන වශයෙන් සෑමදෙනෙකුම ශ්‍රී ලංකා පාබල හමුදා මෑණියන්ගෙන් බිහිවූ රටට වැඩදායී උත්තරීතර නිලධාරීන් හා සෙබළුන් පිරිසක් ලෙස රාජකාරි කිරීම සැමගේ වගකීමක් බව පහදා දෙන ලදී.

අභිනවයෙන් පත් වූ නව රෙජිමේන්තු අධිපතිතුමණි! ඔබගේ නව දැක්ම සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පාබල හමුදාවේ සියලුම සාමාජිකයින් වන අප ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු...