Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th July 2023 18:55:16 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 16 වැනි රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි ඇරඹූ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 16 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී රාජකාරී භාරගැනීම වෙනුවෙන් 2023 ජූලි මස 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි, නව රෙජිමේන්තු අධිපති ප්‍රධාන දොරටුව අභියස දී මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ගෞරවපූර්වකව පිළිගැනුණි. කඳවුරු මුරයේ ගෞරවාචාරය ලබාදීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත පැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පිළිගෙන ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, එහි දී නව රෙජිමේන්තු අධිපති වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාන්විත සම්මාන මුරයක් පුදකරනු ලැබීය.

අනතුරුව, රෙජිමේන්තු විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත් නව රෙජිමේන්තු අධිපති පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් හා ජේකොනොනින් සමඟ සමූහ ඡයාරූපයකට පෙනීසිටීමෙන් පසුව නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කිරීම සඳහා එක්විය. අනතුරුව රෙජිමේන්තු අධිපති කාර්යාලයේ දී පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලද රෙජිමේන්තු අධිපතිතුමන් අවසාන වශයෙන් තම ඉදිරි දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කරමින් භටපිරිස් අමතා අගනා දේශනයක් සිදුකළ අතර, රටට තිරසාර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම කෘතවේදීත්වය පුදකරන ලදී. සෙසුනිල භෝජනාගාරය තුළ පිළියෙල කරන ලද සියලු නිල තේපැන් සංග්‍රහයට සහභාගීවූ එතුමන් පැමිණ සිටි නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට ද එක් විය.

අභිනවයෙන් පත් වූ නව රෙජිමේන්තු අධිපතිතුමණි! ඔබ තුමන්ගේ නව දැක්ම සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම සාමාජිකයින් වන අප ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු...