Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd December 2022 22:43:22 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 15 වැනි රෙජිමේන්තු අධිපති ලෙස සිය ධූරයේ රාජකාරී ඇරඹූ මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී

15 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් රාජකාරී භාරගැනීම වෙනුවෙන් 2022 දෙසැම්බර් මස 03 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියස දී මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ගෞරවපූර්වකව පිළිගැනුණි. කඳවුරු මුරයේ ගෞරවාචාරය ලබාදීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් පිළිගෙන ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදී. එහි දී නව රෙජිමේන්තු අධිපති තුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව කණ්ඩුල මංගල හස්තියා ප්‍රමුඛ අභිමානවත් සම්මාන මුරයක් පුදකරනු ලැබීය.

අනතුරුව, පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලද අතර, නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කිරීම සඳහා එක්විය. පසුව රෙජිමේන්තු අධිපති කාර්යාලය තුළ දී පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරීන් භාරගැනීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් හා ජේකොනොනින් සමඟ සමූහ ඡයාරූපයකට පෙනීසිටින ලදී. පසුව භට පිරිස් ඇමතූ නව රෙජිමේන්තු අධිපති තුමන් තම ඉදිරි දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කරමින් අගනා දේශනයක් සිදුකළ අතර, රටට තිරසාර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම කෘතවේදීත්වය පුද කළේය. අවසන් වශයෙන් සෙසුනිල භෝජනාගාරය තුළ පිළියෙල කරන ලද සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ එතුමන් නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට එක් විය. අභිනවයෙන් පත් වූ නව රෙජිමේන්තු අධිපති තුමණි! ඔබ තුමන්ගේ නව දැක්ම සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම සාමාජිකයින් වන අප ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු...