Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th August 2021 21:21:04 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් අයිජිආර්ජි බෝගොඩවත්ත

වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් අයිජිආර්ජි බෝගොඩවත්ත ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2021 අගෝස්තු මස 20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

බ්‍රිගේඩියර් අයිජිආර්ජි බෝගොඩවත්ත ජ්‍යේෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ඨ සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලද අතර සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් නිලධාරි නිවස්නය තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ. මෙම සියලු අවස්ථාවන් කොවිඩ් 19 ව්‍යාප්ත වීම වැලැක්වීමේ නීතිරීතින් වලට අනුගතව ඉතා චාම් අයුරින් සිදු කරන ලදී.