Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

31st January 2022 22:09:37 Hours

ලෝක සාමය උදාකරලීමේ භාරදුර කාර්යය වෙනුවෙන් ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යන 13 වන සාමසාධක කණ්ඩය

ලෝක සාමය උදාකරලීමේ භාරදූර කර්තව්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටියි. ලෝකයේ අනාරක්‍ෂිත රටවල් වෙනුවෙන් එහි සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සාමසාධක භට පිරිස් ලබා දෙමින් තම වගකීම ඉටුකරනු ලබන මෙම සංවිධානයට එම මෙහෙයුම් සඳහා භට පිරිස් ලබාදෙන රටවල් අතර, ශ්‍රී ලංකා යුද හමුදාව තම කීර්තිය පතුරුවාලමින් ප්‍රශංසනීය ලෙස තම රාජකාරි මනාව ඉටුකරමින් සිටියි. 2010 වර්ෂයේ මුල් වරට ආරම්භ කරන ලද මෙම ලෙබනන් සාමසාධක මෙහෙයුම් රාජකාරි සඳහා මේ වන විට භට කණ්ඩායම් 12 ක් සහභාගී වී ඇති අතර, මෙවර පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් භටපිරිස් ප්‍රධාන කොට රෙම ශ්‍රීලංඉ, රෙම ශ්‍රීලංසංබ, රෙම යාපාරෙ, රෙම කරෙ, රෙම විබ, රෙම ඉසෙරෙ, රෙම ශ්‍රීලයුසේබ, රෙම ශ්‍රීලයුවෛබ, රෙම ශ්‍රීලයුයුබ, ශ්‍රීලවියාඉ, රෙම ශ්‍රීලයුපොහේබ, රෙම ශ්‍රීලයුපොදුසේබ සහ රෙම ශ්‍රීලයුකාබ ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථාන 14 කගේ සහභාගීත්වයෙන් 13 වන සාමසාධක කණ්ඩය ලෙස එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක රාජකාරි සඳහා වු පලමු කණ්ඩායම වශයෙන් නිලධාරී/නිලධාරිණියන් 8 දෙනෙකු හා සෙසුනිළයින් 67 ගෙන් සමන්විත කණ්ඩායම 2022.02.05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එම රාජකාරීන් සාර්ථකව ඉටු කිරීම පිණිස දිවයිනෙන් පිටත්ව යන යුද හමුදා සාමසාධක භඨ කණ්ඩය විසින් 2022.01.30 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත පාබල හමුදා රෙජිමේන්තු සරඹ පිටියේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් හා යුද හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. මෙම උත්සව අවස්ථාවට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය. මෙම සියලු උත්සව කටයුතු යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ සාර්ථකව සිදු කරන ලදී.

නිලධාරි/නිලධාරිණියන් 10 ක් හා සෙසුනිළයන් 115 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම සම්මාන පෙලපාලියෙහි අණදෙන්නා වශයෙන් ලුතිනන් කර්නල් එස්එම්ඩීඑන් සමරකෝන් ආර්ඩබ්ලිව්පී යූඑස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී කටයුතු කළ අතර, පෙලපාලියෙහි දෙවන අණදෙන්නා වශයෙන් ලුතිනන් කර්නල් ඩබ්ලිව්එච්එම්සී ධර්මවංශ ආර්එස්පී යූඑස්පී පීඑස්සී යාපාරෙ ජ්‍යේෂ්ඨ නිලධාරී කටයුතු කරන ලදී. තවද, රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් බලලත් නිලධාරි 1 ඩබ්ලිව්ඒසී ප්‍රසන්න කටයුතු කළ අතර, මෙහි සුවිශේෂී සංධිස්ථානයක් වූයේ ශ්‍රී ලංකා ලෙබනන් සාමසාධක මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වරට තොරතුරු තාක‍්ෂණ නිලධාරී වශයෙන් කාන්තා නිලධාරිණියක් හා ක්ෂේත්‍ර රාජකාරි සඳහා කාන්තා නිලධාරිණියක් ඇතුලු කාන්තා සෙබළියන් 07 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද සහභාගී වීමය.

2021 මැයි මස 28 වන දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය - කුකුලේඟඟ වෙතින් මූලික පෙර පුහුණුවීම් ආරම්භ කරන ලද මෙම කණ්ඩායම මේ වන විට විවිධ හමුදාමය හා වෘත්තියමය පාඨමාලා සඳහා සහභාගී කරවා ඇත. ලෙබනන් රාජ්‍යයේ සාමසාධක රාජකාරි වශයෙන් UNIFIL මූලස්ථානයේ ආරක‍්ෂක කණ්ඩායම් රාජකාරි හා බළකාධිපති කාර්යාල‍යේ ආරක‍්ෂක මුර රාජකාරි යන රාජකාරීන් මූලික කරගෙන සාමසාධක මෙහෙයුම් සිදුකිරීම පිණිස ලෙබනන් රාජ්‍ය බලා පිටත්ව යන 13 වැනි සාමසාධක කණ්ඩායම වෙත එම රාජකාරීන් සාර්ථකව ඉටු කිරීමට අවැසි ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවායි රෙජිමේන්තු අධිපති ඇතුලු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලු නිලයින්ගේ ශුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.