Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th September 2024 12:15:33 Hours

රෙම ශ්‍රීලපාහ ඉදිකිරීම් රැසක් රෙජිමේන්තු අධිපතිගේ සුරතින් අභිනවයෙන් විවෘත වූ වගයි...

යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ඉදිරි දැක්ම මත පදනම්ව රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුබසාධන කටයුතු කාර්යක්ෂමව ඉටුකරදීම හා රාජකාරි කටයුතු ක්‍රමවත්ව සිදුකරගැනීමේ නව සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ සුබසාධන ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෙතෙක් අඩුපාඩුවක්ව පැවති සේනාවිධායක නිල නිවස්නය මෙන්ම රාජකාරී කටයුතු සඳහා බළඇණිවෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන අණදෙන නිලධාරීවරුන්හට නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද අණදෙන නිලධාරී නිවාස සංකීර්ණය හා සෙසුනිල නිවාඩු නිකේතනය යන ව්‍යාපෘති විශේෂයෙන් සඳහන් කළ යුතුය. 2024 සැප්තැම්බර් මස 04 වන දිනට යෙදුනු සුබ මොහොතින් ඉතා කෙටි කාලසීමාවක් තුළ සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද මෙම ව්‍යාපෘති ත්‍රිත්වය පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ සුරතින් විවෘත කරන ලදී. මෙදින රෙජිමේන්තු අධිපති විසින් ප්‍රථමයෙන් අණදෙන නිලධාරී නිවාස සංකීර්ණය හා සෙසුනිල නිවාඩු නිකේතනය විවෘත කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සේනාවිධායක නිල නිවස්නය සුබ මොහොතින් විවෘත කරන ලදී.

මෙහි ඉදිකිරීම් කටයුතු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීමෙන් හා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය මත සිදුකළ අතර, මේ සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ඉසේබ සෙබළුන් හා රෙජිමේන්තු සංවර්ධන වැඩ කණ්ඩායමේ සෙබළුන් විසින් ලබාදුන් බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නිලධාරීවරුන්, නිලධාරීන් හා ජ්‍යේකොනොනීන් ඇතුළු සෙසු‍නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.