Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th November 2022 18:18:38 Hours

රෙජිමේන්තු මංගල හස්ති පරපුරේ නවවන කණ්ඩුලගේ සම්ප්‍රාප්තිය

වසර 141 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව (ශ්‍රීලපාහ) 1960 වර්ෂයේ සිට 2021 අප්‍රේල් මස 28 වන දින තෙක් “මංගල වස්තුව” ලෙසින් හස්ති රාජයෙකු විවිධ සම්මාන උත්සව සහ දෙස් විදෙස් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන සම්මාන මුර හා පෙළපාළි සිදු කිරීම සඳහා යොදවාගත් අතර, ඒ තුළින් ශ්‍රී ලාංකීය අභිමානය ඉතාමත් ඉහළින් නිරූපණය වන ලදී. පවතින නෛතික රාමුව තුළ නවවන කණ්ඩුල ලෙස නව අලි පැටවෙකු ලබාගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ නායකත්වය හා අධීක්ෂණය යටතේ පිඹුරුපත් සකස් කෙරිණි. මෙම ක්‍රියාදාමයේ දී අදාළ අලි පැටවා ලබාගැනීම වෙනුවෙන් මනා ප්‍රවේශයක් ලබාදීමට එවකට මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී සහ වත්මන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී නවවන කණ්ඩුල ලෙස රාජකාරි කිරීමට සුදුසු අලි පැටවෙකු සෙවීමේ භාරදූර කාර්යයට මුලපුරන ලදී. දෙහිවල සත්ත්ව උද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවණ, රිදීගම සෆාරි උද්‍යානය හා පින්නවල අලි සුරක්ෂිතාගාරය යන ස්ථානයන්හි සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවන් හි ප්‍රතිඵලයක් වශයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු අනුබද්ධිත රාජ්‍ය ආයතන විසින් දැනට පින්නවල අලි සුරක්ෂිතාගාරයේ වාසය කරන “නිල්ගල” නමැති අලි පැටවා නීත්‍යානුකූලව මෙම රෙජිමේන්තුව වෙත පවරා ගැනීමේ මෙහෙයුම ආරම්භ විය.

නිල්ගල අලි පැටවාගේ රාජකාරීන් සිදුකිරීම වෙනුවෙන් පළපුරුදු ඇත්ගොව්වන් දෙදෙනකුගේ බඳවාගැනීම් කටයුතු කඩිනමින් සිදුකළ රෙජිමේන්තු මධ්‍යස්ථානය, අලි පැටවාගේ මූලික පුහුණුවීම් සහ අලිපැටවා ඔවුන් වෙත හුරු කරගැනීම පිණිස අලිපැටවා නවාතැන් ගෙන සිටි පින්නවල අලි සුරක්ෂිතාගාරය වෙත අනුයුක්ත කිරීමට අවැසි මූලික කටයුතු සිදුකෙරිණි.

ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසයේ මංගල වස්තුවක් ලෙස කණ්ඩුල නම් අලි පැටවා හදුන්වාදුන් දින සිට වසර එකහමාරක් වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ මංගල වස්තුවක් ලෙස නව අලි පැටවෙකු ලබාගැනීම වෙනුවෙන් සිදුකළ සියලූ ක්‍රියාකාරකම් මල්ඵල ගන්වමින් මෙම අලි පැටවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ලබාගැනීම වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් තැබීම 2022 නොවැම්බර් මස 23 වන දින දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් සිදුවිය. ඉන් අනතුරුව පින්නවල අලි සුරක්ෂිතාගාරයේ “නිල්ගල” ලෙස තම අණසක පතුරවමින් සිටි එම අලි පැටවා රෙජිමේන්තු මධ්‍යස්ථානය කරා ප්‍රවාහනය කිරීමේ කටයුතු ද එදින සන්ධ්‍යාභාගයේ දී ආරම්භ කෙරිණි.

2022 නොවැම්බර් මස 24 වන දින නවවන කණ්ඩුල ලෙස ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත මඟුල්ඛෙර හ`ඩ මධ්‍යයේ සම්ප්‍රාප්ත වූ “නිල්ගල” අලි පැටවා රෙජිමේන්තු විහාරස්ථානය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබ සුබ මොහොතින් සිය රාජකාරී ආරම්භ කරන ලදී.

පාබල රෙජිමේන්තුවක් ලෙස සියලු නිලයින්ගේ කැපවීම හා නොපසුබට උත්සාහය මත නැවත රෙජිමේන්තුව සතුකරගත් ශ්‍රී ලංකා පාබල හමුදා මංගල වස්තුව “කණ්ඩුල” හට රෙජිමේන්තු ගෞරවය හා අනන්‍යතාවය රැකගනිමින් රාජකාරී කිරීමට අවැසි ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.