Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th September 2023 17:41:37 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ බළඇණි සංචාරයේ දෙවන අදියර සනිටුහන් කරමින් 2023 සැප්තැම්බර් මස 02 වන දින 15 ශ්‍රීලපාහ, 19 ශ්‍රීලපාහ, යන බළඇණිවල හා 2023 සැප්තැම්බර් 04 වන දින 5(ස්වේ) ශ්‍රීලපාහ සහ 4 ශ්‍රීලපාහ යන බළඇණිවල නිරීක්‍ෂණ සංචාරයක නිරතවන ලදී.

මෙහිදී බළඇණිවල අණදෙන නිලධාරීන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද අතර, 5 (ස්වේ) ශ්‍රීලපාහ බළඇණියේ අභිනවයෙන් ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය රෙජිමේන්තු අධිපතිගේ සුරතින් විවෘත කිරීමද මෙම සංචාරයට සමගාමීව සිදුකරන ලදී. අනතුරුව භටපිරිස් ඇමතු රෙජිමේන්තු අධිපති පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලයන්හි විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බව පවසන ලදී. තවද තම වැටුප නිසිලෙස කළමණාකරණය කරගතයුතු බවත්, තම කටයුතු සඳහා බැංකු ණය ආදිය ලබාගැනීමේදී තමන්හට දරාගැනීමට නොහැකි ආකාරයට ණය ලබා නොගන්නා ලෙසත් සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී තමන්ගේද අනුන්ගේද ආත්මගරුත්වයට හානියක් නොවන පරිද්දෙන් භාවිතා කළයුුතු බවත්, යුද හමුදා නොවන අනතුරු සිදු නොකරගන්නා ලෙසත් දන්වා සිටි අතර, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, හා බෙදාහැරීම වැනී නීතිවිරෝධී කටයුතු සඳහා කිසිලෙසකින්වත් සම්බන්ද නොවිය යුතු බව අවධාරණය කරන ලදී.

තවද, බළඇණිවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන් අතර, රාජකාරී කටයුතු සිදුකිරීමේ දී සිවිල් ජනතාව සමග සුහදශීලීව කටයුතු කළයුතු ආකාරයත්, මහජනතාව මෙන්ම රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමෙහිලා කැපවීමෙන් කටයුතු කරන ලෙසත් දැනුම් දෙන ලදී. යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර අනාගත යුද හමුදා වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකු ලෙස දැනුම සහ පුහුණු නිපුණත්වය හා එහි වටිනාකම් අවබෝධකර දී, එම අරමුණු සාක්ෂාත් කිරීම සඳහා යුද හමුදා ඉදිරි දැක්ම පිළිබඳව තම දේශනයෙන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

නිලධාරීන් හා සෙසුනිලයින් සමඟ සුහද පිළිසඳරකින් පසුව රෙජිමේන්තු අධිපති තම සංචාරය නිමා කළ අතර, මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩබලන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.