Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd August 2023 18:25:04 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ බළඇණි සංචාරයේ දෙවන අදියර සනිටුහන් කරමින් 2023 අගෝස්තු මස 22 වන දින 6 ශ්‍රීලපාහ බළඇණිය ස්ථාපිත මිහින්තලේ කඳවුරු නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය.

6 ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද අතර, 17(ස්වේ) බළඇණියේ භටපිරිස්ද රෙජිමේන්තු අධිපතිතුමන්ගේ දේශනය සඳහා සහභාගි වන ලදී. අනතුරුව භට පිරිස් ඇමතු රෙජිමේන්තු අධිපති පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලයන්හි විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතය ද සාර්ථක කරගත හැකි බවට සියලු නිලධාරීන් හා සෙසුනිලයින් අමතා දැනුවත් කරන ලදී.

තවද, බළඇණියේ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන් අතර, රාජකාරී කටයුතු සිදුකිරීමේ දී සිවිල් ජනතාව සමග සුහදශීලීව කටයුතු කළයුතු ආකාරයත්, මහජනතාව මෙන්ම රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමෙහිලා කැපවීමෙන් කටයුතු කරන ලෙසත් දැනුම් දෙන ලදී. වර්තමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, නීති විරෝධි ව්‍යාපාරවලට සම්බන්ධවීම, අන්තර්ජාලය අවභාවිතා කරමින් කටයුතු කිරීම, ණය පහසුකම් ලබාගෙන ආර්ථික අපහසුතාවයට පත්වීම, විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීම, සියදිවි හානිකර ගැනිම් සබැඳිව භටපිරිස් අමතන අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කළ අතර, එවැනි ක්‍රියාකාරකම් වලින් වැළකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර අනාගත යුද හමුදා වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකු ලෙස දැනුම සහ පුහුණු නිපුණත්වය හා එහි වටිනාකම් අවබෝධකර දී, එම අරමුණු සාක්ෂාත් කිරීම සඳහා යුද හමුදා ඉදිරි දැක්ම පිළිබඳව තම දේශනයෙන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

නිලධාරීන් හා සෙසුනිලයින් සමඟ සුහද පිළිසඳරකින් පසුව රෙජිමේන්තු අධිපති තම සංචාරය නිමා කළ අතර, මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩබලන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.