Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd February 2019 21:19:39 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ 8 ශ්‍රීලපාහ සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 8 ශ්‍රීලපාහ ඒකකයේ නිරීක්ෂණ සංචාරය වර්ෂ 2019 ක්වූ පෙබරවාරි මස 22වන දින පෙරවරුවේ සිදුකරන ලදී.

ආසේමු (බටහිර) යටතේ 14 සේමු හා 141 බසේමු බලප්‍රදේශයට අයත්ව ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි බළඇණි මූලස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති තුමන් කඳවුරු ප්‍රධාන පිවිසුම අභියසදී ඒකක අණදෙන නිලධාරි මේජර් එන්ඩබ්ලිව්ඩීඒ නානායක්කාර ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර අනතුරුව ඒකක අණදෙන නිලධාරිගේ මගපෙන්වීම යටතේ සෙනීන්ගේ ශ්‍රමදායකත්වයෙන් අලංකාරවත්ව අභිනවයෙන් ඉදිකරන ලද නව ප්‍රධාන පිවිසුම් දොරටුව රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් වෙත ඒකකයේ ගෞරවාචාරය පුදකරමින් අභිමානවත් කඳවුරු මුරයක් ලබා දීමෙන් පසු රෙජිමේන්තු අධිපති තුමාගේ සංචාරය සිහිවීම වස් පැළ රෝපණය සිදුකරන ලද අතර අනතුරුව පැවති භට පිරිස් ඇමතීමේදී පාබල ඒකක සාමාජිකයන් ලෙස සාමූහිකව කටයුතු කිරීම තුලින් සාර්ථකත්වය ලබාගැනීම, පාබල හමුදාවේ අභිමානය සුරැකෙන අයුරින් කටයුතු කිරීම, පුහුණුවීම් හා ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කරගැනීම තුලින් යුද්ධ හමුදා ජීවිතය සේම පෞද්ගලික ජීවිතය ද සාර්ථක කරගැනීමේ හැකියාව හා ජනාකීර්ණ ප්‍රදේශයන්හි රාජකාරි සිදුකිරීමේදී සිවිල් වැසියන් සමග සුහදව කටයුතු කිරීම පිළිබඳව ඉතා හරවත් දේශනයක් සිදුකරන ලදී.

ඉන්පසුව කඳවුරු භූමියේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් භට නිවාස පහසුකම්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව අවැසි උපදෙස් ලබාදීමෙන් පසු සියලු නිලයන් සඳහා සූදානම් කරන ලද තේපැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහන් යොදා බළඇණි සංචාරයේ නිමාව සනිටුහන් කරන ලදී. 8 ශ්‍රීලපාහ ඒකකය 1996 වර්ෂයේ සිට 1999 වර්ෂය දක්වා මෙහෙයවමින් ඒකකයේ අණදෙන නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කර ඇති වත්මන් රෙජිමේන්තු අධිපතිතුමන්ගේ මෙම ඒකක සංචාරය 8 ශ්‍රීලපාහ ඒකකයට මහත් අභිමානයක් ගෙනදුන් අතර මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ප්‍රමානි I (ක්‍රියා) ලුතිතන් කර්නල් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදී.