Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd June 2023 15:20:04 Hours

රටට ආදර්ශයක් වෙමින් යුද්ධ හමුදාවට කීර්තියක් ගෙනදුන් පාබල හමුදා කොමිෂන් නොලත් නිලධාරී

ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර මානුෂීය මෙහෙයුමේ දී අසරණ සිවිල් ජනතාව මුදවාගෙන ලොවට දුන් ආදර්ශය සේම යුද්ධයෙන් පසුවත් රටේ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ජීවිතයේ සෑම මොහොතක්ම තම රාජකාරියේ කොටසක් සේ සලකා යුද හමුදා සෙබළුන් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරනුයේ සුවිශාල මෙහෙවරකි. 2023.05.26 වන දින එවන් සත් ක්‍රියාවකට දායකවීමට ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 4 වන ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/323628 කෝප්‍රල් කේඑම්බීආර්කේඑල් කරුණාරත්න කොමිෂන් නොලත් නිලධාරී හට හැකිවිය.

ගරු අග්‍රාමාත්‍ය නිල නිවසේ ආරක්ෂක රාජකාරියේ නියුතු කෝප්‍රල් කරුණාරත්න කේඑම්බීආර්කේඑල් ඉහත දිනයේ දී නිවාඩු ලබා තම නිවස වෙත යෑමේ අරමුණින් මහනුවර සිට මහියංගනය දක්වා ගමන්කරන මගීප්‍රවාහන බස් රථයකට ගොඩවිය. වේලාව පෙරවරු 1145 පැය පසුකරමින් බස්රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් තරමක් වේගයෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබුණි. එහිදී රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසිවී ගිගේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක ය. අසුනෙන් විසිවී ගිය රියදුරු නොමැති බස්රථය පාලනයකින් තොරව වේගයෙන් මීටර් 50ක් පමණ ඉදිරියට ධාවනය වන්නටවූ අතර, එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි මෙම සෙබළා වහා ක්‍රියාත්මකවී රියදුරු අසුනට පැන බසයේ තිරිංග තද කර මහත් පරිශ්‍රමයක් දරා බස් රථය නවත්වා ගන්නා ලදී.

සිදුවීමට ගිය මහා ඛේදවාචකයක් සුලුවේලාවකදී නවතාගැනීමට මෙම සෙබළාට නොහැකිවූවානම් 50 දෙනෙකුට අධික මගීන් සමගින් බස්රථය අඩි 2000-3000කට වඩා වැඩි උඩුදුම්බර ප්‍රපාතයට පෙරළී විශාල ජීවිත හානියක් සිදුවීමට තිබිණි. තම ජීවිතය ගැන පවා නොසිතා සිදුවීමට ගිය අනතුරේදී මගීන්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වූ මෙම අභිත සෙබළාගේ වීර ක්‍රියාව බස්රථයේ ගමන්ගත් සියලු දෙනාගේ ඉමහත් ඇගයීමට ලක්විය.

පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් මෙම සෙබළාගේ වීර ක්‍රියාව මහත් ඇගයීමකට ලක් කර ප්‍රශංසා කළ අතර, යුධ හමුදාපති ලුතිතන් ‍ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සුරතින් මෙම සුවිශේෂී වීරක්‍රියාව වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් පිරිනමනු ලබන ප්‍රසංසනාත්මක පදක්කම පළඳවන ලදී.

උද්ගතවූ හදිසි අවස්ථාවේ තම ජීවිතය ගැන නොතකා කැපවීමෙන් යුහුසුළුව ක්‍රියාකර ජීවිත ගණනක් නිරුපද්‍රිතව බේරාගත් එම කොමිෂන් නොලත් නිලධාරී වෙත රෙජිමේන්තු අධිපති ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙසේ පිරිනමන්නෙමු.