Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th December 2023 21:03:57 Hours

පාබල හමුදා රෙජිමේන්තුවෙන් නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා ඒ යටතේ පාලනය වන බළඇණි වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් සේවාවක් සිදුකළ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2023.12.06 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.

වර්ෂ 2022.09.21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 27 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් සිය රාජකාරි ඇරඹූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම අධීක්ෂණය යටතේ සිදුකරන ලද අතර, රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගේ පාලන හා සුබසාධන කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම සඳහා මනා දායකත්වයක් ලබාදෙන ලදී.

සමුගන්නා දින කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු නියෝජ්‍ය සේනාවිධායක විසින් එතුමන් ආචාර පීඨීකාව වෙත කැඳවාගෙන යෑමෙන් අනතුරුව අභිමානවත් සම්මාන පෙළපාලියක් පුද කරන ලදී. සම්මාන පෙළපාලියට සහභාගී වූ සියලුම භටපිරිස් අමතා වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනැමීම වෙනුවෙන් තම ස්තූතිය පුදකළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිත පුදකරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම උත්තමාචාරය පිරිනමන ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස දී නිලධාරීන් හා ජේකොනොනීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගීවී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකද නියැලෙන ලදී. නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමණි, ඔබගේ ඉදිරි රාජකාරී කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ ශුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.