Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th October 2019 14:10:39 Hours

පාබල හමුදා රණවිරු සැමරුම් උළෙල - 2019

මාතෘභූමියේ ඒකීයභාවය හා චිරස්ථිතය උදෙසා යුධ බිමේදී වීර වික්‍රමාන්විත යුද මෙහෙයුම් මගින් සතුරු බලමුළු මුලිනුපුටා දමමින් අප්‍රතිහත ධෛර්යෙන් හා අසමාන සටන්කාමිත්වයකින් ලේ, දහඩිය වගුරවමින් සටන් වැද ජීව දානය කැපකරමින් යුද විජයග්‍රණයට උරදුන් අභීත පාබල හමුදා විරුවන් සදා අනුස්මරණය කිරිම වෙනුවෙන් 30 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමිව සිව්වන වරට පවත්වන ලද රණවිරු සැමරුම් උළෙල 2019 ක් වු ඔක්තෝබර් මස 25 දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියසදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති හා ආරක්ෂක සේනා මුළස්ථානය (බටහිර) අඥාපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ගෞරවණීය ආරාධනයෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී ඉතා ගෞරවයෙන් පිළිගත් අතර එතමන්ගේ සම්ප්‍රාත්තියෙන් ඇරඹි මෙම අභිමානවත් රණවිරු සැමරුම් උළෙලේ දී, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාභිමානය රකිමින් 1900 වර්ෂයේ සිට මානුෂිය මෙහෙයුම දක්වා රට දැය වෙනුවෙන් ප්‍රාණ දානය ලබාදෙමින් මිහිතලය සිපගත් නිලධාරින් 168 ක් හා සෙසුනිලයින් 3700 ක් වෙත පුෂ්පෝපහාර පුදමින් කෘතවේදිත්වය හා උපහාරය පුදකරන ලදී.

යුද්ධ හමුදාවේ ජීවගුණය ආරක්ෂා කරමින් විචිත්‍රවත් ලෙස පැවති මෙම රණවිරු සැමරුම් උළලේදී ගරු ආරක්‍ෂක ලේඛම් තුමා විසින්, ස්වකීය පෞද්ගලික අභිලාෂ පසෙකලා මාතෘභූමිය හා වෘත්තිය අභිමානය පෙරටුකරගනිමින් අද්විතීය යුග මෙහෙවරක් ඉටුකර ශ්‍රේෂ්ඨත්වයට පත් ඒ විරෝධාර රණවිරුවන් ඇගයිම සිදුකල අතර, එය මේ අවස්ථාව සදහා සහභාගි වන ලද දහසක් පමණ වු රණවිරු ලගම ඥාතින් සංවේදිත්වයට පත්කල අවස්ථාවක් විය. මෙම උත්සව අවස්ථාව සදහා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ විශ්‍රාමික රෙජිමේන්තු අධිපතිවරුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙසැමේ ඇතුලු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.

මෙදින රාත්‍රියේ ඉතාමත් අලංකාර මල් පෙරහැරකින්, දසතහැමු සුවඳ ධුපයන් මධ්‍යයේ සධාතුක කරඩුව වඩම්මවා මියගිය රණවිරුවන් හට පුන්‍යානුමෝදනා සිදුකිරිම සදහා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලද අතර, රෙජිමේන්තු හා ඒකක වර්ණ ධජ වෙත සහ රෙජිමේන්තු මංගල හස්ථියා වෙත ආශිර්වාදය පුද කරන ලදී. පසුදින සංඝයා වහන්සේලා 30 ක් විෂයෙහි සංඝගත දක්ෂිනාවක් පැවත්විමෙන් පසු රණවිරු සැමරුම් උත්සව මාලාවේ සමාප්තිය සනිටුහන් විය.