Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th November 2022 17:32:21 Hours

''පාබල මේලා" සංගීත සංදර්ශනය - 2022

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය හා පුනර්ජීවනය කිරීමේ ජාතික කර්තව්‍යයට දායකවීමේ උදාර අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ මගපෙන්වීම යටතේ සංවිධානය වූ මෙම දැවැන්ත සංගීත සංදර්ශනය නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ හික්කඩුව මහජන ක්‍රිඩාංගනයේ දී පවත්වනු ලැබීය. මෙම සැණකෙළිය කමාන්ඩෝ රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද සුනඛ සංදර්ශනය, යුද්ධ හමුදා අංගම්පොර සංදර්ශනය, පාබල හමුදා රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද තුර්ය වාදක හා සරඹ සංදර්ශනය ආදියෙන් සමන්විත වූ අතර, එම විශේෂාංග සැණකෙළිය නැරඹීමට පැමිණි මහජනතාව වෙත නැවුම් අත්දැකීමක් එක් කිරීමට සමත් විය.

ප්‍රථම දින එනම් 2022 නොවැම්බර් මස මස 04 වන දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිල‍ධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරෝමාලා කොඩිතුවක්කු මැතිනිය සහභාගී විය. එදින රාත්‍රියේ ඇරෝව්ස්ටාර් සංගීත කණ්ඩායමේ ස්වර දැහැනට නිහාල් නෙල්සන්, නිලාන් හෙට්ටිආරච්චි, දිමංක වෙල්ලාලගේ, සශිකා නිසංසලා හා සුප්‍රියා අබේසේකර වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් ගීතයෙන් එක් වූ අතර, ''ඇලෙක්ස් විත් ඩෑෂ්" නර්තන කණ්ඩායමේ විචිත්‍රවත් නර්තනය ජනතාව වෙත ඉහළ රසාස්වාදයක් ගෙන දීමට සමත්විය.

දෙවන දින එනම් 2022 නොවැම්බර් මස 05 වන දින සමාප්ති උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගි වන ලදී. එදින රාත්‍රියේ දිවයිනේ තවත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සනිධප සංගීත කණ්ඩායමේ තත්සර නාදයට ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන මනේජ් සංජය, මංගල ඩෙනෙක්ස්, නොයෙල් රාජ්, දිල්කි උරේෂා, ටෂ්නි පෙරේරා සහ සමන් ලෙනින් ගායනයෙන් එක් වූ අතර, ''චතූ විත් රංගීනා" නර්තන කණ්ඩායම සැණකෙළියේ විචිත්‍රවත් නර්තනයක නිරතවිය.

මෙම විචිත්‍රවත් සැණකෙළිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. දෙදිනක් පුරා හික්කඩුව මහජන ක්‍රීඩාංගණය කෙන්ද්‍ර කරගනිමින් දකුණු ලක අසිරිය මැවු ''පාබල මේලා" වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සුජිත් කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ඍජු අධීක්ෂණය යටතේ ද, රෙජිමේන්තුවේ සියලු නිලධාරීන් හා සෙසුනිලයන්ගේ දැඩි කැපවීම මත සාර්ථකව අවසන් කරගැනීමට හැකිවිය.