Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th November 2022 18:26:43 Hours

ප්‍රෞඪ යුද ඉතිහාසයකට උරුමකම් කියූ 3 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ප්‍රතිස්ථාපනය වෙයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන නිත්‍ය බළඇණියක් වශයෙන් 3 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1985 දෙසැම්බර් මස 16 වන දින තිසාවැව යුද්ධ හමුදා කඳවුරේදී නි/50394 ලුතිනන් කර්නල් එන්ඩීඑම්එම් වික්‍රමරත්න ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ නිළ වශයෙන් නගාසිටුවා ඇත. අනතුරුව මෙම ඒකකය මානුෂිය මෙහෙයුම ආරම්භ වනතෙක්, යුද්ධ හමුදාව වෙතින් දියත්කර ඇති සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇත.

එම ක්‍රියාන්විතයන්හී දී මෙම බළඇණියට අයත් නිලධාරීන් 31දෙනකු සහ සෙසුනිලයන් 607 කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිලධාරී/සෙසුනිලයින් විශාල සංඛ්‍යාවක් රණක්ෂිතයට පත්ව ඇත. තවද, සහභාගී වූ සියලුම ක්‍රියාන්විතයන්හී දී විශිෂ්ඨ ජයග්‍රහණයන් අත්කර දීමට සමත්වීම හා වැඩිම වීරක්‍රියා පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගත් ඒකකයක් බවට පත්වීම තුළින් එම ඒකකය යුද්ධ හමුදාව තුළ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගෙන ඇත.

පසුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නගාසිටුවීමත් සමඟ 3 ශ්‍රීලපාහ බළඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පළමුවන යාන්ත්‍රික පාබල බළඇණිය ලෙසින් ලුතිනන් කර්නල් ඒජීඩීඑන් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (එවකට ශ්‍රීලපාහ) යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ වර්ෂ 2007 දෙසැම්බර් මස 04 වන දින යාපනය වල්ලිපුරම් ප්‍ර‍දේශයේ දී නගාසිටුවන ලදී. පසුව 2010 වර්ෂයේ දී 3 ශ්‍රීලපාහ බළඇණිය නැවත නගාසිටු වූවද, මතු වූ පාලනමය ගැටලු හේතුවෙන් එම බළඇණිය නැවත විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ගේ අශිර්වාදය මත 3 වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාව වෙතින් බිහිවු වත්මන් යුද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබළ හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම මත 3 ශ්‍රීලපාහ බළඇණිය නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් අවැසි පිඹුරුපත් සකස් කෙරුණි. සමස්ථ යුද්ධ හමුදාවටම ඉමහත් කීර්තිනාමයක් හා අභිමාණයක් ගෙනදුන් රණකාමී බළඇණියක් ලෙස වර්ථමානයේ දී පවා ප්‍රචලිතව පවතින 3 ශ්‍රීලපාහ බළඇණියේ නාමය තවදුරටත් රඳවා පවත්වා ගැනීම තුලින් යුද්ධ හමුදාව වෙත ඉමහත් ගෞරවයක් ඇතිවනවාසේම, සෙබලුන්ගේද චිත්ත ධෛර්යය ඉහලයාමක් සිදුවන බවත් මෙමඟින් 3 ශ්‍රීලපාහ බළඇණියට අයත්ව සිට මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වන ලද අයවලුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පාලන සහ සුභසාධන කටයුතු ක්‍රමවත්ව සිදුකිරීමට හැකියාවක් ඇති බව පෙන්වාදී ඇත.

ඒ අනුව දැනට ශ්‍රී ලංකා පාබල හමුදාව තුල පවතින බළඇණියන් අතුරින් යුදමය වාතාවරණයෙන් පසුව ස්ථාපනය කර ඇති බළඇණියක් ලෙස 24 ශ්‍රීලපාහ බළඇණිය 3 ශ්‍රීලපාහ ලෙස සංශේධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කෙරිණි. එයට ප්‍රධාන හේතුව ලෙස ගුවන් සංක්‍රමික බළසේනාව යටතේ රාජකාරී සිදුකරනු ලබන සුවිශේෂී බළඇණියක් වීම හා 2021 වර්ෂයේ ශ්‍රීලපාහ බළඇණියන් හී හොඳම බළඇණිය තේරීමේ තරඟයේ ප්‍රථම ස්ථානය හා අන්තර් බළඇණි සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය ද, හිමිකරගෙන අනෙක් බළඇණි අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින ලුතිනන් කර්නල් එච්බීටී ප්‍රියංකර ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ ස්ථාපිත 24 ශ්‍රීලපාහ බලඇණියේ නාමය හමුදා චර්යා නියෝග 38/2022 අනුව 2022 නොවැම්බර් මස 23 වන දින සිට 3 වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාව ලෙස සංශෝධනය කර ඇත.

24 ශ්‍රීලපාහ බළඇණිය, 3 වන ශ්‍රීලපාහ බළඇණිය ලෙස නම් සංශෝධනය කිරීම හා බළඇණි දජ නව බළඇණි වෙත ලබාදීම 2022.11.25 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භූමියේ දී වත්මන් යුද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යාන්ත්‍රික පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වන ලදී.