Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th June 2023 21:59:47 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී

මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1990.01.17 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1991.06.15 වන දින දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව එම බළඇණිය තුළ දැරියයුතු සිලුම තනතුරු හොබවා අණදෙන නිලධාරියෙකු ලෙස එම බළඇණිය මෙහෙයවීමේ නියමුවා වීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.

උපදේශක නිලධාරියෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී නිලධාරී උපදේශක - විශේෂ බළකා පුහුණු පාසල, විධායක අධිකාරී - රෙජිමේන්තු මධ්‍යස්ථානය විශේෂ බළකාය, මානි 2 (ක්‍රියා) - මාණ්ඩලික රාජකාරී අධ්‍යක‍ෂ මණ්ඩලය හා 56 පාබල සේනාංකය, බළසේනා මේජර් - 574 පාබල බළසේනාව, විධායක අධිකාරී - කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලය, මානි 1 - ස්වේච්ඡා බලසේනාව, කර්නල් ප්‍රමානි - ආසේමූ (බටහිර) හා 51 පාබල බලසේනාව, බලසේනාධිපති - 515, 582 බළසේනා මුලස්ථාන, අධ්‍යක‍ෂ - මාරාඅම, සේනාවිධායක - යුද්ධ හමුදා යුද විද්‍යාලය හා වර්ථමානයේ 52 පාබල සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබයි.

තම සේවා කාලය අතරතුර දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති මෙතුමන් දේශිය පාඨමාලා වශයෙන් බුද්ධි පාඨමාලාව, සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව, කාතු නිරික‍ෂණ නිලධාරී පාඨමාලාව, ඉදිරි නිරීක‍ෂණ නිලධාරී පාඨමාලාව, ඒකක ගිණුම්කරණ හා පරිපාලන පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව හා ව්‍යාපෘති කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව යන පාඨමාලාවන් දේශීය වශයෙන් ද, ඉන්දියාවේදී මෝටාර් අවි පාඨමාලාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හා ජ්‍යෙෂ්ඨ ආරක‍ෂක කළමණාකරණය පිළිබද ඩිප්ලෝමාව, පාකිස්ථානයේදී තරුණ නිලධාරී පාඨමාලාව හා ජාතික ආරක‍ෂාව හා යුධ මෙහෙයුම් පාඨමාලාව, නේපාලයේදී බහු කණ්ඩ පුහුණු පාඨමාලාව හා චීනයේදී ඒකාබද්ධ මෙහෙයුම් මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත. තවද කළමණාකරණ හා නායකත්ව සංවර්ධනය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව, මනෝවිද්‍යා උපදේශනය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව, රාජ්‍ය කළමණාකරණ උපාධිය, ආරක‍ෂක කළමණාකරණ විද්‍යාවේදී උපාධිය, ආරක‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යනය පිළිබද විද්‍යාවේදී උපාධියද ප්‍රගුණ කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බැවි විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 1991 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති අතර, වසර 33 ක් වූ තම යුද්ධ හමුදා දිවියේ ක්‍රියාන්විතයන්හීදී දක්වන ලද නිර්භීතභාවය හා රණකාමීත්වය වෙනුවෙන් ලබාදෙනු ලබන රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම යන පදක්කම්වලින් පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2023 ක් වූ ජුනි මස 30 වන දින සපැමිණි මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී පැමිණ සිටි සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලෙන ලදී. මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත ද, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධාය‍කගේ පූර්ණ අධීක්ෂණය යටතේ ද, සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.