Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th September 2022 12:49:50 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 1989.07.14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව මූලික යුද පුහුණුව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 32 වෙතින් සා නිම කිරීමෙන් අනතුරුව 1991.01.19 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. එම බළඇණියේ ක්‍රියාන්විත හා පුහුණුභාර නිලධාරී තනතුර දක්වා දැරිය යුතු සියලුම තනතුරු හෙබවීමෙන් පසු 7 වන ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරී වශයෙන් ද බළඇණිය මෙහෙයවීමේ නියමුවා වීමේ මහඟු භාග්‍ය ද උදාකරගත් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 2007 වර්ෂයේ 6 වන සාමසාධක බළඇණියේ නිලධාරී අණදෙන්නෙකු ලෙසින් ලෝක සාමය උදාකරලීමේ මහඟු කාර්යභාරයට ද එක්වීමට වරම් ලැබී ය.

උපදේශක නිලධාරියෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී මාණ්ඩලික නිලධාරී 3 - පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය, මාණ්ඩලික නිලධාරී 2 (පාලන) - 11 වන පාබල සේනාංක මූලස්ථානය, බළසේනා මේජර - ගුවන් සංග්‍රාමික බලසේනා මූලස්ථානය, නිලධාරී අණදෙන - පාලන කණ්ඩායම රෙම ශ්‍රීලපාහ, ප්‍රධාන උපදේශක - සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය කුකුලේඟඟ, මාණ්ඩලික නිලධාරී 1 (පාලන) - රෙම ශ්‍රීලපාහ, මාණ්ඩලික නිලධාරී 1 (පාලන) - භකාස අණසක - කොස්ගම, කර්නල් (ප්‍රමානි) - 21 වන පාබල සේනාංක මූලස්ථානය, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක - ශ්‍රීලපාහ, බලසේනාධිපති - 591 වන පාබල බලසේනා මූලස්ථානය, බලසේනාධිපති - 231 වන පාබල බලසේනා මූලස්ථානය, නියෝජ්‍ය සේනාවිධායක - යුද විද්‍යාලය බුත්තල හා අධ්‍යක්ෂ බඳවාගැනීම් - ආධුණිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්ෂ මණ්ඩලය යනාදී යුද හමුදාවේ උසස් තනතුරු හොබවා ඇති දැනුමින් පිරිපුන් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තම සේවා කාලය අතරතුර දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති මෙතුමන් රෙජිමේන්තු සංඥා නිලධාරී පාඨමාලාව, ව්‍යවසාය හා කුඩා පරිමාන ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාව - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, වෘත්තිය මානව සම්පත් කළමනාකරණ පාඨමාලාව - පුද්ගල කළමනාකරණ ආයතනය, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් පවත්වන ලද ජාතික ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පළමු පාඨමාලාවේ සාඩම්බර සාමාජිකයෙකු වේ. විදේශීය පාඨමාලා අතුරින් උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව සහ ඒකක අණදෙන්නන්ගේ හා මණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව - බංගලාදේශය යන පාඨමාලාවන් හදාරා ඇත.

හසල දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 1991 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති අතර, 1991 ව දියත් කළ '' ටයිගර් චේස් " (Tiger Chase) ක්‍රියාන්විතය අතරතුර සතුරු ප්‍රහාරයකට ළක්ව තුවාල ලබා ඇත. වසර 33 ක් වූ තම යුද්ධ හමුදා දිවියේ ක්‍රියාන්විතයන්හීදී දක්වන ලද නිර්භීතභාවය හා රණකාමීත්වය වෙනුවෙන් ලබාදෙනු ලබන රණවික්‍රම පදක්කම් 02 කින්, රණශූර පදක්කම් 03 කින් ද, යුද හමුදා දිවියේ නිකළැල් සේවය වෙනුවෙන් ලබාදෙනු ලබන උත්තම සේවා පදක්කම යන පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 02 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී පැමිණ සිටි සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලෙන ලදී. මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ උපදෙස් හා මඟපෙන්වීම මත ද, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ ද, සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.