Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st February 2020 00:36:14 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රෙව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී

මුලික අධ්‍යාපනය හැදෑරීම සදහා රත්නපුර හික්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට ඇතුලත් වු මෙතුමන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සදහා රත්නපුර ශීවලි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත්විය. විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මෙතුමන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හා මලල ක්‍රීඩකයෙකු ලෙස කැපිපෙනෙන දක්‍ෂතා දක්වා ඇති අතර කළුකත් වසන්ත රත්නායක ද ආබ්‍රෙව් තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1986 අගෝස්තු මස 04 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1988 පෙබරවාරි මස 04 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වන බළඇණියට ඇතුළත් විය.

පාබල නිලධාරියෙකු වශයෙන් තම සේවා කාලය තුලදී ජ්‍යෙෂ්ඨත්වයට හා නිලයට සරිලන පරිදි විවිධ නිලතල හා තනතුරු හෙබවීමට භාග්‍යය ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණකාමී පාබල ඒකකයක් වන 1 ශ්‍රීලපාහ ඒකකයේ ඛණ්ඩ භාර නිලධාරි, 6 සහ 8 යන ශ්‍රීලපාහ බළඇණිවල 2 වන අණදෙන නිලධාරි වශයෙන් දැඩි කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරි ඉටුකිරීමෙන් පසු 1 ශ්‍රීලපාහ ඒකකයේ 23 වන අණදෙන නිලධාරි වශයෙන් පත්වීම් ලැබ 1 ශ්‍රීලපාහ ඒකකය නැවත නගාසිටුවීමේ අභියෝගාත්මක කාර්යය ඉතා සාර්ථකව ඉටුකරන ලදී. තවද මෙතුමන් හොබවන ලද තනතුරු අතර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යන පීඨයෙහි අණදෙන නිලධාරි, 551, 553, 583 බළසේනාවල බළසේනාධිපති, 2004 වර්ෂයේ පළමු සාමසාධක බළඇණියේ ආධාරක කණ්ඩායම් භාර නිලධාරි අණදෙන, මානි 1 (භකාස) රෙම ශ්‍රීලපාහ, ප්‍රමානි 1 (සම්බන්ධිකරණ), ඒකාබද්ධ ක්‍රියාන්විත මුලස්ථානයේ ප්‍රමානි 1, සාසාමෙපුආ කුකුලේගග සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ සහකාර යුද සේවා ලේකම්, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක ආදී තනතුරු ප්‍රමුඛ වන අතර දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් තනතුර හොබවනු ලබයි.

1986 වර්ෂයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම දක්වා යුද හමුදාව වෙතින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සදහා සක්‍රිය දායකත්වය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදි ඇති අතර, අනගිභවනීය සේවාවක් යුද හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රීලංකාද්වීපයට ලබාදි ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශණය කරන ලද රණකාමිත්වයට ඇගයීම වස් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම හිමිගන්වන ලදි. දේශීය හා විදේශිය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒ සියලු අත්දැකිම් මුසුකොට පරිනතභාවයෙන් හා දැඩි වගකිමකින් යුතුව පැවරෙන සියලු රාජකාරි ඉතා උසස් මට්ටමින් ඉටුකරමින් සිටි.

පාබල හමුදාවට කීර්තියක් හා අභිමානයක් එක්කරමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2020ක් වූ පෙබරවාරි මස 19 වන දින සපැමිණි මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රෙව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් පසු පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදී. අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ඉදිරිපත් කරන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයකට අනුව සකස් කරන ලද, ගෞරව පුද කිරිමේ උත්සවයේ ජායාරූප ඇතුලත් සමරු සිහිවටනය, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත පිළිගැන්විමෙන් පසු උත්සව අවස්ථාවේ නිමාව සනිටුහන් විය. මෙම ගෞරව පිරිනැමිමේ උත්සව අවස්ථාව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, රෙසැමේ ඇතුලු සියලුම නිලයින් සහභාගී විය.