Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st January 2022 20:47:23 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් එස්ආර්එකේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී

මේජර් ජෙනරාල් එස්ආර්එකේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරියකු වශයෙන් ඇතුලත්ව ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි දැරිය යුතු සියලුම තනතුරු හොබවා දැඩි කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරි ඉටු කර පසුව 15 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හුමුදාව මෙහෙය වීමේ මහඟු භාග්‍යයද උදාකර ගන්නා ලදී.

එවකට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් සිටි මේජර් ජෙනරාල් ඒඑම්යු සෙනෙවිරත්න ආර්එස්පී යුඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරිගේ අධි සහයක වශයෙන්ද, මාණ්ඩලික නිලධාරියෙකු ලෙස හා උපදේශකයෙකු ලෙස වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි උපදේශක නිලධාරියෙකු වශයෙන්ද, මාණ්ඩලික නිලධාරි II සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, බළසේනා මේජර් 552 බළසේනා මුලස්ථානය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත/පුහුණු) - 55 සේනාංක මුලස්ථානය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි (ක්‍රියාන්විත) - ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර), පුහුණුවීම් භාර අණදෙන නිලධාරී - යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර), කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී (ප්‍රමාශා) - යුද්ධ හමුදා මුලස්ථානය, 521 හා 582 බළසේනා මුලස්ථානයන්හී බළසේනාධිපති ලෙසද තම රාජකාරීන් ඉතා විශිෂ්ඨ ලෙස ඉටුකර ඇත. තවද මෙතුමන් දැනට ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ අධ්‍යාපන උපදේශක ලෙස සුවිශේෂී සේවාවක් ඉටුකරනු ලබයි. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී වෘත්තිමය හා ශාස්ත්‍රීය දැනුමෙන් සමන්විත වු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර දේශීය මෙන්ම විදේශීය පාඨමාලා සහ විදේශීය වැඩමුළු රාශියකට සහභාගිවී දැනුමෙන් පරිපුර්ණ වු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

1990 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සදහා සක්‍රීය දායකත්වය මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ලබාදී ඇති අතර, ඒකක අණදෙන නිලධාරියෙකු සහ බළසේනාධිපතිවරයෙකු වශයෙන් අවසන් මානුෂීය මෙහෙයුම් කාල පරිච්ජේදයෙහි මෙතුමා අනගිභවනීය සේවයක් යුද හමුදාවට මෙන්ම සමස්ත ශ්‍රී ලංකාද්විපයට ලබාදී ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇගයීම වස් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමින්ද මෙතුමා පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2021 ක් වූ ඔක්තෝබර් මස 26 වන දින සපැමිණි මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ඉදිරිපත් කරන ලද අතර, අනතුරුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී විය. මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම නිලයින් සහභාගී විය.