Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th October 2023 17:00:35 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී

මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1988.07.26 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1990.06.09 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව එම බළඇණිය තුළ වැඩබලන අණදෙන නිලධාරී තනතුර දක්වා දැරියයුතු සියලුම තනතුරු හොබවා අණදෙන නිලධාරියෙකු ලෙස 3 වන ආධාරක බළඇණිය ශ්‍රීලපාහ සහ 27 ශ්‍රීලපාහ බළඇණිය යන බළඇණි මෙහෙයවීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.

තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාව තුළ විවිධ නිලතල හොබවා ඇති අතර, වර්ථමානයේ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබයි. 1991 වර්ෂයේ සිට යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම දායකත්වය ලබාදී ඇති අතර, වසර 35 ක්වූ තම යුද්ධ හමුදා දිවියේ ක්‍රියාන්විතයන්හීදී දක්වන ලද නිර්භීතභාවය හා රණකාමීත්වය වෙනුවෙන් ලබාදෙනු ලබන රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2023 ක්වූ ඔක්තෝබර් මස 24 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී පැමිණ සිටි සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලෙන ලදී. මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධාය‍කගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.