Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th September 2018 15:46:24 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරු බුහුමන් ලද මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී

කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් සිප්සතර හැදැරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා විද්‍යාලයේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වූ ජිනේන්ද්‍ර රාජිත අම්පෙමොහොට්ටි තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් වර්ෂ 1985 ක් වු ජුනි මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශ‍යෙන් බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 21 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව වර්ෂ 1986 අප්‍රේල් මස 25 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණිය වෙත එක්වන ලදී.

ඉන්පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකකයේ ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙසද, කණ්ඩායම්භාර නිලධාරි අණදෙන ලෙස ද, පාලන කණ්ඩායම භාර නිලධාරි අණදෙන ලෙස ද, තම රාජකාරිය ඉතා විශිෂ්ඨ අයුරින් ඉටුකල අතර, කණ්ඩායම් භාර නිලධාරි පාඨමාලාව, උසස් පාබල පුහුණු පාඨමාලාව සහ උපදේශක පාඨමාලාව යන පාඨමාලා ඉතා සාර්ථක ලෙස හදාරා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණකාමිත්වය හා එඩිතරභාවය විදහාපාමින් වඩමාරච්චි ක්‍රියාන්විතය, ජයශක්ති ක්‍රියාන්විතය, ඔපරේෂන් ජූනෝ ක්‍රිස්ටි යන ක්‍රියාන්විතය සහ නැගෙනහිර පළාතේ මෙහෙයවන ලද විවිධ ක්‍රියාන්විත සදහා තම සක්‍රිය දායකත්වය උපරිම ලෙස ලබා දෙන ලදී. මෙලෙස ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී 1990 ඔක්තොම්බර් 17 වන දින පලාලි ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්විය. පුර්ණ ආබාධිත තත්වයෙන් පසු වුවද සමස්ථ යුද්ධ හමුදාවටම ආදර්ශයක් ගෙන දෙමින් දැඩි අධිෂ්ඨාන පුර්වකව මේ දක්වා රාජකාරින් හී යෙදී සිටීම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ විශිෂ්ඨ චරිත ලක්ෂණයක් වේ.

රණක්ෂිතයට පත්වීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හොබවන ලද තනතුරු අතුරින් නිලධාරි අණදෙන රාගම රණවිරු සෙවන සංගීත කණ්ඩායම, ක්‍රියාන්විතයේදී ආබාධිත තත්වයට පත්වූ පාබල හමුදා රණවිරුවන් වෙනුවෙන් ස්ථාපනය කරන ලද රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි, පුණරුත්ථාපන අධක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I, පුණරුත්ථාපන අධක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය අධක්‍ෂක සහ මානව හිමිකම් මානුෂවාදී නීති අධක්‍ෂක මණ්ඩලයේ අධක්‍ෂක තනතුරු විශේෂයෙන් සදහන්කල හැක.

1991 වසර අගභාගයේදී පැරා ක්‍රීඩා තරඟ සඳහා එක්වු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙඩිතැබිම්, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, මේසපන්දු සහ දුණුවිදිම යන ක්‍රීඩා වලට සහභාගිවෙමින් ජාතික ශූරතා වසර ගනනාවක් දිනාගෙන ඇති අතර, රෝද පුටු මැරතන් සහ වෙඩිතැබිම ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. පැරා ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස දශකයකට අධික කාලයක් කටයුතු කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිත්වය දරයි. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2006 වර්ෂයේදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් කළමණාකරන විද්‍යාවේදි උපාධිය ලබාගෙන ඇත.

පාබල හමුදාවට කීර්තියක් හා අභිමානයක් එක්කරමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස් වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2018 වු සැප්තැම්බර් මස 26 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රධානුකූලව පිරිනමනු ලැබු අභිමානවත් හා ගාමිභීර සම්මානමුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සදහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකළ අතර, භඨ පිරිස් ඇමතීමේදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ඉතාමත් කාලෝචිත‍, ආදර්ශමත් පණිවුඩයක් සියලු නිළයන් හට ඉදිරිපත් කිරිමට සමත් විය. ඉන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගීවීමෙන් පසු සංචාරයේ නිමාව සනිටුහන් කරන ලදී. මෙම උත්සව අවස්ථාව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මැතිතුමාගේ පුර්ණ ආශිර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධීක‍ෂණයෙන් යටතේ සිදුකරන ලද අතර, මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු, මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙම ශ්‍රීලපාහ මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, රෙඋපාසැමේ ඇතුලූ සියලූම නිලයින් මෙම අවස්ථාවට සහභාගී වුහ.