Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th September 2022 19:28:54 Hours

නික්ම යන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සහ ඒ යටතෙහි වන බළඇණියන් වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තු අධිපතිවරුන් හට ඔවුන්ගේ කාර්යභාරයන් හා රෙජිමේන්තු වගකීම් ඉටුකිරීම සඳහා මහත් පිටුවහලක් වුන බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2022.09.17 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.

වර්ෂ 2021.01.07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් සිය රාජකාරි ඇරඹූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම අධීක්ෂණය යටතේ සිදුකරන ලදී. ඒ අතර, ගැලන්ට් පානීය ජල බෝතල් ව්‍යාපෘතිය ආරම්භ කිරීම, තෙමහල් කාර්යාල සංකීර්ණයේ දෙවන මහල ඉදිකිරීම, රෙජිමේන්තු මධ්‍යස්ථාන පන්සලෙහි බෝධිය වටා රණ්වැට ඉදිකිරීම, නිලධාරී නිවස්න බීමහල වෙත අලුතින් කොටසක් එකතුකිරීම, සෙසුනිල භෝජනාගාරයේ විදුලි සෝපානය සවි කිරීම, සෙසුනිල ''බී" භට නිවාසය අලුත්වැඩියා කිරීම, සෙසුනිලයින් වෙනුවෙන් දෙමහල් වැසිකිලි පද්ධතිය ඉදිකිරීම, බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ අංක 02 නේවාසිකාගාරය අලුත්වැඩියා කිරීම, කඳවුරේ අභ්‍යන්තර මාර්ගය ඉන්ටලොක් ගල් හා කොන්ක්‍රීට් යොදා සකස් කිරීම, රසල්හයින් ක්‍රීඩා පිටිය වටා පැති බැම්ම ඉදිකිරීම, රෙජිමේන්තු අධිපති නිල නිවස්නය ඉදිරිපස මාර්ගය තාර යොදා සකස් කිරීම හා ආරක්ෂක පැති බැම්මක් ඉදිකිරීම, ප්‍රධාන මුළුතැන්ගෙහි ජලනල පද්ධතිය සකස් කිරීම, වර්ණ ධජ ප්‍රවාහනය කරනු ලබන ජීප් රථය නවීකරණය කිරීම, ඇවිදීමේ මංතීරුව සකස් කිරීම, රෙජිමේන්තුව වෙත සහ බළඇණියන්හි ප්‍රයෝජනය සඳහා නව පරිගණක යන්ත්‍ර 30 ක් ලබාදීමට කටයුතු කර ජාලගත තොරතුරු තාක්ෂණ අංශයක් ස්ථාපිත කිරීම, රෙම පසුමූල හරහා දිවෙන මාර්ගය කාපට් කිරීම ආදී යෝධ සංවර්ධන ව්‍යාපෘති පාබල හමුදා රෙජිමේන්තුට ලබාදීමට කටයුතු කරන ලදී.

තවද, රෙජිමේන්තුවට අයත් ක්‍රියාන්විත හේතුන් මත මියගිය, අතුරුදහන් හා රණක්ෂිතයට පත්ව ඇති පාබල හමුදා සාමාජිකයින්ට මෙන්ම සේවයේ නියුතු භටපිරිස් අතුරින් අඩු ආදායම්ලාභී අයවලුන් හදුනාගෙන ඔවුන් වෙත නිවාස ඉදිකරදීම හා විශ්‍රාම ගැන්විය යුතු විශාල භටපිරිසකගේ විශ්‍රාම ගැන්වීමේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමට විධිමත් ක්‍රමවේද හදුන්වාදීම තුළින් සෙබළ සුභසාධන කටයුතු සාර්ථකව ඉටුකිරීමට හැකිවීම කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතු ය.

සමුගන්නා දින කඳවුරු මුරය‍ ලබාදීමෙන් අනතුරුව නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් එතුමන් ආචාර පීඨීකාව වෙත කැඳවාගෙන යෑමෙන් අනතුරුව අභිමානවත් සම්මාන පෙළපාලියක් පුද කරන ලදී. සම්මාන පෙළපාලියට සහභාගී වූ සියලු භට පිරිස් අමතා ඉතා අලංකාරවත් සම්මාන පෙළපාලියක් ලබාදීම සබැඳිව තම ස්තුතිය පුදකරන ලද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස දී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමණි, ඔබගේ ඉදිරි රාජකාරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ ශුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.