Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th June 2018 20:10:55 Hours

දැයෙන් සමුගත් බ්‍රිගේඩියර් ඒඊආර් අබේසිංහ (විශ්‍රාමික) කේඑස්වී

මීගමුව ප්‍රභූ පෙළපතකට හිමිකම් කියන අබේසිංහ මැතිතුමා සහ එම මැතිණියට දාව පවුලේ එකම දරුවා ලෙසින් 1926 අප්‍රෙල් මස 28 වන දින ඇලෙක්සැන්ඩර් එඩ්මන්ඩ් රාජපක්ෂ අබේසිංහ නම් දරුවා උපත ලැබී ය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලය හා රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් වියේදී දක්ෂ ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩකයෙක් ද විය.

1954 පෙබරවාරි 01 වන දින මෙම දීප්තිමත් සිසුවා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බළසේනාවට ශිෂ්‍ය භඨ නිලධාරියෙකු ලෙස එක්විය. මූලික යුද පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව 1954 මාර්තු මස 01 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරිය ලබාගෙන 2 වන බළඇණිය ලංකා පාබල හමුදාව වෙත එක්වන ලදී. ඉන්පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කරන අතරතුර එක්සත් රාජධානියේදී කණ්ඩභාර නිලධාරි පාඨමාලාව සාර්ථකව හදාරා ඇත.

2 ලුතිතන් ඒඊආර් අබේසිංහ 1957 පෙබරවාරි 01 වන දින ලුතිතන් නිලයටත්, 1962 ජූලි 04 වන දින කපිතන් නිලයටත්, 1970 ජුලි 04 මේජර් නිලයටත් නිල උසස්වීම් ලබන ලදී. 1980,1983 සහ 1996 වසරවලදී ලුතිතන් කර්නල්, කර්නල් හා බ්‍රිගේඩියර් යන මාණ්ඩලික නිල උසස්වීම් ලැබූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2 වන බළඇණිය ලංකා පාබල හමුදාවේ විධායක අධිකාරි, 2වන අණදෙන නිලධාරි, 30 වන අණදෙන නිලධාරි යන තනතුරු හොබවන ලදී. තවද, 1965 වර්ෂයේ ආණ්ඩුකාර හා අග්‍රාණ්ඩුකාරවරුන්ගේ අතිරේක අධිසහායක ලෙස ද, ස්වේච්ඡා බලසේනාවේ 12 වන නියෝජ්‍ය සේනාවිධායක ධූරය ද, ජාතික ශිෂ්‍යභඨ බලකායේ අතිරේක අධ්‍යක්ෂක ධූරයක් ද හෙබවීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් දේශය වෙනුවෙන් ඉටුකල කීර්තිමත් නොකළැල් සේවාව උදෙසා කාර්යක්ෂම සේවා විභූෂණය, ශ්‍රී ලංකා යුදහමුදා 25 වන සංවත්සරය, දීර්ඝසේවා, ජනාධිපති පදවිප්‍රාප්ති, ස්වේච්ඡා බළසේනා ශතසංවත්සරය යන පදක්කම් සහ පළදනාවලින් පිදුම් ලැබී ය. ඒඊආර් අබේසිංහ කේඑස්වී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් අවුරුදු 34 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදාව මගින් නිකුත් කරනු ලබන වයිට් හැකල් සගරාවේ උපදේශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ අතර, ප්‍රවීණ ඉංග්‍රීසි මාර්ගෝපදේශකයෙකු ලෙස ද සිය මාරගෝපදේශකත්වය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත ලබා දෙන ලදී.

2018 ජුනි මස 03 වන දින සදහටම අපගෙන් සමුගන්නා ලද බ්‍රිගේඩියර් ඒඊආර් අබේසිංහ කේඑස්වී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අවසන් කටයුතු මීගමුව පොදු සුසානභූමියේදී 2018 ජුනි මස 06 වන දින 1700 පැයට යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ජෙෂ්ඨ නිලධාරීන් සහ යුද හමුදාවේ දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 24 x 600 කගෙන් හා කාල තුවක්කු වෙඩිමුර 11ක් සහ වර්ණ ධජ ඝණයකින් සමන්විත යුද්ධ හමුදා සම්මාන පෙළපාලියකින් අභිමානවත් ලෙස සිදුකරන ලදී. අප අතරින් සදහටම සමුගත් අභිත සෙන්පතියානෙනි.... හිරු නැගඑන මොහොතේදීත්, හිරු බැසයන මොහොතේදීත් අප ඔබ නිරන්තරයෙන්ම සිහි කරන්නෙමු.... විරුවානෙණි ඔබට නිවන් සුව...!!!