Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd December 2023 12:03:27 Hours

දැයෙන් සමුගත් අභීත සෙන්පති මේජර් ජෙනරාල් දේශමාන්‍ය ඒකේ ජයවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී

1944 මැයි 24 වැනි දින කොළඹ ගෞරවනීය පවුලක උපත ලද අශෝක කාන්තිලාල් ජයවර්ධන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විශිෂ්ට පෞරුෂයකින් හෙබි පාසලේදී අධ්‍යාපනික හා ක්‍රීඩා යන දෙඅංශයෙන්ම දස්කම් දැක්වූ දක්ෂ සිසුවෙකි. පාසල් අධ්‍යාපනයට සමුදුන් අශෝක ජයවර්ධන තරුණයා 1963 ඔක්‌තෝබර් 11 වැනි දින කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වී දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ සෑන්න්ඩර්ස් (Sandhurst) හි කීර්තිමත් රාජකීය හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලාව සාර්ථකව හදාරන ලදී. අනතුරුව 1965 දෙසැම්බර් 16 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට එක්වූ මෙතුමන් යුද්ධ හමුදාව තුළ දී දැක්වූ නිපුණතාවය හා කැපවීම මත 1967 ජුනි 16 වන දින ලුතිනන් නිලයටද, 1970 ජුනි 16 වන දින කපිතන් නිලයටද, 1977 ජුනි 1 වන දින මේජර් නිලයටද, 1985 මාර්තු 18 වන දින ලුතිනන් කර්නල් නිලයටද, 1988 අගෝස්තු 1 වන දින කර්නල් නිලයටද, 1990 මාර්තු 1 වන දින බ්‍රිගේඩියර් නිලයටද, පසුව 1994 දෙසැම්බර් 01 වන දින මේජර් ජෙනරාල් නිලයටද උසස් කරන ලදී.

සිය යුද හමුදා දිවියේ ප්‍රවීණතාවය සහ දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. තවද ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරී කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් හොබවා ඇති තනතුරු අතර, කණ්ඩභාර නිලධාරී - 1 ශ්‍රීලපාහ බළඇණිය, මාණ්ඩලික නිලධාරි III සහ විධායක අධිකාරී - දියතලාව යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානය, මාණ්ඩලික නිලධාරි II (සැපයුම් සහ ප්‍රවාහන) - හමුදා මූලස්ථානය, මාණ්ඩලික නිලධාරි II (මාණ්ඩලික රාජකාරි සහ පුහුණු) - හමුදා මූලස්ථානය, නිලධාරී අණදෙන - 1 ශ්‍රීලපාහ බළඇණිය, අණදෙන නිලධාරී - 1 ශ්‍රීලපාහ බලඇණිය, මාණ්ඩලික නිලධාරි II - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, මාණ්ඩලික නිලධාරි I - යුධ හමුදා මූලස්ථානය, කර්නල් ප්‍රමානි - යුධ හමුදා මූලස්ථානය, වැඩබලන බලසේනාධිපති - 32 වන බලසේනාව, බලසේනාධිපති - 1,4 සහ 6 බලසේනා කණ්ඩායම්, සම්බන්ධීකරණ නිලධාරී - අම්පාර, වව්නියාව සහ වැලිඔය, ආඥාපති - වව්නියා ආරක්ෂක සේනා මූලස්ථානය, ආඥාපති (ඒකාබද්ධ මෙහෙයුම්) - ආසේමූ යාපනය සහ කිලිනොච්චි, බලසේනාධිපති - 21 වන බලසේනාව සහ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී - ආසේමූ යාපනය, සේනාංකාධිපති - 1 වන කාර්ය සාධක බලකාය, ආඥාපති මෙහෙයුම් - වව්නියාව සහ මන්නාරම, ආඥාපති - ආසේමූ කිලිනොච්චි සහ මුලතිව්, සේනාංකාධිපති - 2 වන කාර්ය සාධක බලකාය, ආඥාපති (සමස්ත මෙහෙයුම්), සේනාවිධායක - යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, අධ්‍යක්ෂ පාබල - යුද හමුදා මූලස්ථානය, රෙජිමේන්තු අධිපති - රෙම ශ්‍රීලපාහ, ආඥාපති - යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ආදී තනතුරු විශේෂයෙන් සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකාද්වීපයේ හෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය උදෙසා යුද්ධ හමුදාව විසින් දියත් කළ සියලුම මෙහෙයුම් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙතුමන් සංග්‍රාම භූමියෙදී දක්වන ලද විශිෂ්ටත්වය හා නොකැළැල් සහ කීර්තිමත් සේවාවන් වෙනුවෙන් පුදකරනු ලබන රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, වඩමාරච්චි පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි සංවත්සර පදක්කම, ජනාධිපති පදවිප්‍රාප්ති පදක්කම, ලංකා සන්නද්ධ සේවා සමාරම්භක පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයක් නිම කිරීමෙන් පසුව 1998 නොවැම්බර් 12 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම දිවියට පා තැබූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම ගැනීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද අතර, උතුරු නැඟෙනහිර පළාත් සභාව පිහිටුවීමෙන් පසු යාපනය අර්ධද්වීපයට පැමිණි ප්‍රථම පළාත් ආණ්ඩුකාරවරයා වීමේ භාග්‍යයද උදාකරගන්නා ලදී. තවද, ආරක්ෂක අමාත්‍යාංශයේ 9 වැනි ආරක්ෂක ලේකම්වරයා වූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් කළ උදාර සහ අමිල සේවය වෙනුවෙන් දේශමාන්‍ය යන ජාතික නාමයෙන් ද පිදුම් ලැබීය.

2023 දෙසැම්බර් 17 වන දින කොළඹ යුද හමුදා රෝහලේදී දැයෙන් සදහටම සමුගත් මේජර් ජෙනරාල් දේශමාන්‍ය අශෝක ජයවර්ධන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අවසන් කටයුතු 2023.12.20 වන දින යුද හමුදා ගෞරව සම්මාන පෙලපාලියකින් සමන්විතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී. මෙම අවමංගල්‍ය උත්සවය සඳහා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගිය යුද්ධ හමුදාධිපතිවරුන් ඇතුළු යුද හමුදාවේ දැනට සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අභිමානවත්ව සිදුකරන ලදී.

අප අතරින් සදහටම සමුගත් අභිත සෙන්පතියාණෙනි.! හිරු නැගඑන මොහොතේදීත්, හිරු බැසයන මොහොතේදීත් අප ඔබ නිරන්තරයෙන්ම සිහි කරන්නෙමු....විරුවානෙණි ඔබට නිවන් සුව.!!!