Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th November 2023 21:32:23 Hours

දැයෙන් සමුගත් අභීත සෙන්පති කර්නල් ඩබ්ලිව්එම්ආර් විජේසුන්දර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී

විජේසුන්දර මුදියන්සේලාගේ රංජිත් විජේසුන්දර නමින් 1957 මාර්තු 15 වෙනි දින කොළඹ ගෞරවනීය පවුලක උපත ලැබූ මෙතුමන් මූලික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හදාරන ලද විශිෂ්ට පෞරුෂයකින් හෙබි ශාස්ත්‍රීය හා ක්‍රීඩා යන අංශ දෙකෙන්ම දස්කම් දැක්වූ සිසුවෙකි. පාසල් අධ්‍යාපනයට සමුදුන් විජේසුන්දර තරුණයා 1978 ජුලි 03 වැනි දින මාතෘභූමියට සේවය කිරීමේ අරමුණ ඇතිව ආධුනික කෙඩෙට් නිලධාරීයෙකු ලෙස පාඨමාලා අංක 10 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1980 ජනවාරි 23 වැනි දින දෙවැනි ලුතිතන්වරයකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට එක්විය. යුද්ධ හමුදාව තුළ දී මෙතුමන් දැක්වූ නිපුණතාවය හා කැපවීම මත 1981 ජූලි 23 වන දින ලුතිතන් නිලයටද, 1984 ජූලි 23 වන දින කපිතන් නිලයටද, 1987 ජූලි 23 වන දින මේජර් නිලයටද උසස් කරන ලද අතර, 1993 දෙසැම්බර් 16 වන දින 10 ශ්‍රීලපාහ බළඇණියේ මෙහෙයවීමේ ප්‍රථම නියමුවා වීමේ භාග්‍යද උදාකරගත් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී රාජකාරියේදී දැක්වූ විශිෂ්ට නායකත්වය මත 1994 ජනවාරි 01 වන දින ලුතිතන් කර්නල් නිලයටත්, අනතුරුව 1997 ජූනි 06 වන දින කර්නල් නිලයටත් උසස් කරන ලදී.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇති අතර, ඉන්දියාවේදී කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරි පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, කණිෂ්ට අණදෙන නිලධාරී පාඨමාලාව ද, පකිස්ථානයේදී ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව සහ ඒකක අණදෙන නිලධාරී පාඨමාලාව යන පාඨමාලා විශේෂයෙන් සඳහන් කළ හැකිය. ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරී කර ඇති මෙතුමන් නිලධාරී උපදේශක - යුද්ධ හමුදා විද්‍යාපීඨය, දෙවන අණදෙන නිලධාරී - 3 ශ්‍රීලපාහ බළඇණිය, ජ්‍යේෂ්ඨ උපදේශක - යුද්ධ හමුදා විද්‍යාපීඨය, කා.නි. අණදෙන නිලධාරි - 8 ශ්‍රීලපාහ බළඇණිය, කා.නි. මධ්‍යස්ථාන සේනාවිධායක - රෙජිමේන්තු මධ්‍යස්ථානය රෙම ශ්‍රීලපාහ, කා.නි. කර්නල් ප්‍රමානි - 3 වන කාර්ය සාධක බලකාය, කා.නි. බලසේනාධිපති - 514 බලසේනාව, 546 බලසේනාව සහ 224 බලසේනාව, කා.නි. අධ්‍යක්ෂ - මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස යුද්ධ හමුදාව වෙත තම දායකත්වය ලබාදී ඇති අතර, විශ්‍රාම යන විට යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කර්නල් පාලන ලෙස රාජකාරි සිදු කරන ලදී.

ශ්‍රී ලංකාද්වීපයේ හෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය උදෙසා යුද්ධ හමුදාව විසින් දියත් කළ සියලුම මෙහෙයුම් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදි ඇති මෙතුමන් සංග්‍රාම භූමියෙදී දක්වන ලද විශිෂ්ටත්වය වෙනුවෙන් පුදකරනු ලබන රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම් පදක්කම, යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

වසර 23 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයක් නිම කිරීමෙන් පසුව 2002 පෙබරවාරි 01 වන දින යුද හමුදාවෙන් විශ්‍රම දිවියට පා තැබූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී අසනීප තත්ත්වයක් හේතුවෙන් 2023.11.14 වන දින දැයෙන් සදහටම සමුගෙන යන ලදී. අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්එම්ආර් විජේසුන්දර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අවසන් කටයුතු 2023.11.16 වන දින යුද හමුදා ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී. මෙම අවමංගල්‍ය උත්සවය යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගිය යුද්ධ හමුදාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ යුද හමුදාවේ දැනට සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා සම්මාන පෙලපාලියකින් සමන්විතව අභිමානවත් ලෙස සිදුකළ අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානය නියෝජනය කරමින් රෙජිමේන්තු අධිපති හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු නිලධාරීන් සෙසුනිලයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය. අප අතරින් සදහටම සමුගත් අභිත සෙන්පතියාණෙනි.! හිරු නැගඑන මොහොතේදීත්, හිරු බැසයන මොහොතේදීත් අප ඔබ නිරන්තරයෙන්ම සිහි කරන්නෙමු....විරුවානෙණි ඔබට නිවන් සුව.!!!