Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th October 2021 12:47:44 Hours

තිස් දෙවසරක අභිමානය සැමරූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

වසර 140 කට වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජි‍මේන්තුව සිය අභිමානවත් 32 වන සංවත්සරය 2021 ක් වු ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය 1989 ජුනි මස 30 වන දිනට යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේදී වර්ෂ 1989 ක් වු ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර එදා මෙදා තුර “සේවය කරමි” යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.

32 වන රෙජිමේන්තු දින සැමරුම් උළෙලෙහි සමාරම්භය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා යාපනය ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු මුරයක් පිරිනමා අභිමානවත් සම්මාන මුරයක්ද පිරිනමන ලදී. අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුදකරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම උත්තමාචාරය පිරිනමන ලද අතර, පැමිණ සිටි සියලුම නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

එදිනම ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන්ගේ 2020 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට සමාර්ථයන් හිමිකරගත් දු දරුවන් වෙත ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 05 ක් හා අයි පෑඩ් 10 ක් ලබාදීමෙන් පසු රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත නවතමයෙන් ඉදිරිකරන ලද පරිගණක අංශයද විවෘත කර නිලධාරී නිවස්නයේ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී විය. ඉන් අවනතුරුව 2021 වසරේ පැවති පාලන පරීක්ෂාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් නිත්‍ය හා ස්වේච්ජා බළඇණි වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කරන ලද අතර, එහිදී 2020 වර්ෂයේ නිත්‍ය බළඇණි අතුරින් ප්‍රථම ස්ථානය 11 ශ්‍රීලපාහද, 7 ශ්‍රීලපාහ දෙවන ස්ථානයද දිනාගත් අතර, ස්වේච්ජා බළඇණි අතුරින් ප්‍රථම ස්ථානය 2 (සෙව්) ශ්‍රීලපාහද, 14 (සෙව්) ශ්‍රීලපාහ දෙවන ස්ථානයද හිමිකරගන්නා ලදී. අනතුරුව රෙජිමේන්තු අධිපති විසින් සියලු නිලයන් අමතමින් කාලෝචිත හා හරවත් දේශණයක් පවත්වන ලද අතර, රෙජිමේන්තු අධිපති ප්‍රමුඛව පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්ද සෙසුනිල භෝජනාගාරයෙහි පවත්වන ලදී.

රෙජිමේන්තු දිනය තවත් වර්ණවත් කරමින් එදින සන්ධ්‍යා භාගයේදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි බෝධිය වටා නවතමයෙන් ඉදිකරන ලද රන් වැට හා ප්‍රතිසංස්කරණය කරන ලද බුදුමැදුර රෙජිමේන්තු අධිපතිගේ සුරතින් විවෘත කරන ලද අතර, ඊට සමගාමීව පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව අවසානයේ පසු දින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරීමෙන් පසු 32 වන රෙජිමේන්තු දින සංවත්සරයෙහි උත්සව කටයුතු සාර්ථකව නිමා කරන ලදී. තවද, මෙම සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගි වු අතර, සංවත්සර සැමරුම් මාලාව ආරක්ෂක සේනා යාපනය ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය යටතේ වත්මන් සෞඛ්‍ය මාර්ගොපදෙශයන්ට අනුව සිදුකරන ලදී.