Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th December 2023 15:25:56 Hours

අභිනවයෙන් විවෘතවූ සේවාවනිතා "ගැලන්ට් බාර් ස්නැක්ස්" නිෂ්පාදනාගාරය

කුරීරු ත්‍රස්තවාදයට එරෙහිව යුද වැද රට ජාතිය වෙනුවෙන් තම ජීවිත පුදකළ හා රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම දැනට සේවයේ නියුතු සියළු නිලයින්ගේ සුබ සාධන කටයුතු ඉහළ නැංවීම සඳහා අරමුදල් රැස්කරගැනීමේ අරමුණින් සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයක් මත රෙජිමේන්තු සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම ගැලන්ට් බාර් ස්නැක්ස් නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් කටයුතු 2023 ඔක්තෝබර් මස 26 වන දින ආරම්භ කරන ලදී.

මෙහි ඉදිකිරීම් කටයුතු රෙජිමේන්තු අධිපතිගේ මගපෙන්වීම යටතේ, මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය මත පාබල සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදුකල අතර මෙම නිෂ්පාදනාගාරය 2023.12.29 වන දින පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සුරතින් විවෘත කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රුවන් සිරිවර්ධන ආර්එස්පී නිලධාරී ප්‍රමුඛ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගී විය.

මෙම ආහාර වර්ග නිෂ්පාදනයට නම් දැරු කර්මාන්තශාලාවල මාස 03 ක වෘත්තීය පුහුණුවක් ලැබූ පාබල හමුදා සෙබළුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව හා නවීන ප්‍රමිතියට අනුකූලව මෙහි ආහර වර්ග නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබයි. මඤ්ඤොක්කා බයිට්, මිශ්‍ර බයිට්, මසාලා රටකජු, රටකජු මිශ්‍රණය හා රින්ග් මුරුක්කු ආදී දැනට වෙළඳපොලේ ජනප්‍රිය ආහාර වර්ග මෙම නිෂ්පාදනාගාරය තුළ නිෂ්පාදනය කරන අතර, පාබල හමුදා සාමාජිකයන් හා යුධ හමුදාවට අයත් විවිධ ආයතන හට සහනදායී මිළගණන් යටතේ මෙම නිෂ්පාදන මිළදීගැනීම සඳහා පහසුකම් සලසා ඇත.