Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th July 2023 15:17:34 Hours

අභිනවයෙන් විවෘත කළ රෙම ශ්‍රීලපාහ බූස්ස උත්සව ශාලාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව හා බීමහල

පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන කටයුතු ඉහළ නැංවීමේ ව්‍යාපෘති සැලැස්මේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් බූස්ස රෙම ශ්‍රීලපාහ පුහුණු පාසල් කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ උත්සව ශාලාව වෙත පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුව හා බීමහල විවෘත කිරීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2023.07.08 වන දින සුබ මොහොතින් සිදුකරන ලදී.

2015 වර්ෂයේ දී මෙම ව්‍යාපෘතියේ මූලික සංවර්ධන කටයුතු ආරම්භ කළ අතර, රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් හා මගපෙන්වීම මත එහි දෙවන අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන ලදී. ශ්‍රීලපාහ පුහුණු පාසල පිහිටි බුස්ස කඳවුරු පරිශ්‍රයේ සුන්දර වටපිටාවක ඉදිකර ඇති මෙම උත්සවශාලාවෙහි එකවර පුද්ගලයින් 90 කට අසුන්ගතහැකි පරිදි සකසා ඇති අතර, උත්සව ශාලාව වෙත පිවිසීම සඳහා සකසා ඇති අලංකාර පිවිසුම් දොරටුව හා නවීන අංගෝපාංග සහිතව ඉදිකර ඇති බීමහල මගින් ප්‍රදේශයේ සංචාරක ආකර්ශණය දිනාගැනීමට මහත්සේ ඉවහල්වී ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු පාබල මේලා සැණකෙලියෙන් ලද මූල්‍ය ප්‍රතිපාදන මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පුර්ණ අධීක්ෂණය යටතේ පුහුණු පාසලේ සේනාවිධායකගේ මෙහෙයවීමෙන් භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සිදුකරන ලද අතර, මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යෙෂඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර්, බළඇණි රෙසැමේවරුන් ඇතුළු සෙසු‍නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.