Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th October 2023 15:13:12 Hours

142 වසරක අභිමානය සැමරීම හා ''අභිමන් මුදුනත" රණවිරු සැමරුම - 2023

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 142 වැනි සංවත්සරය 2023 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ ලැබූ අතර, එයට සමගාමීව 2023.10.28 වන දින ''අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියස දී රණවිරු සැමරුම් උළෙලක් පවත්වන ලදී.

1881 අප්‍රේල් මස 01 වන දින අංක 4396 දරන රජයේ ගැසට් පත්‍රයේ 528 වන පිටුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා පාබල හමුදාවක් නගාසිටුවීම සඳහා අනුමැතිය හිමිවීමෙන් පසු 1881 අප්‍රේල් මස 01 වන දින සිලෝන් වොලන්ටියර්ස් නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාබල හමුදාව ආරම්භ විය. 1989 ජුනි මස 30 වන දින යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේ දී වර්ෂ 1989 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර, සෑම රෙජිමේන්තු දින සංවත්සරයකදීම පාබල හමුදාව නගාසිටවූ වර්ෂය සංකේතවත් කරමින් සිය සංවත්සර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකා පාබල හමුදාව ආරම්භ කර මේ වන විට වසර 142 ක් සපුරා ඇති අතර, එදා මෙදා තුර ''සේවය කරමි" යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.

142 වන රෙජිමේන්තු දින සැමරුම් උළෙලෙහි සමාරම්භය සනිටුහන් කරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස දී කඳවුරු මුරයක් පිරිනමා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී අභිමානවත් සම්මාන මුරයක උත්තමාචාරය පුදකරනු ලැබීය. අනතුරුව රෙජිමේන්තු අධිපති පැමිණ සිටි සියලූම නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, උත්සවය සඳහා පැමිණ සිටි සියලූ නිලයින් අමතමින් කාලෝචිත හා හරවත් දේශණයක් සිදුකරන ලදී. එහිදී 2023 වසරේ පැවති පාලන පරීක්ෂාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් නිත්‍ය, ස්වේච්ජා බළඇණි හා අන්තර් බළඇණි සරඹ තරඟාවලියේ දී දක්ෂතා දැක්වූ සරඹ කණ්ඩායම් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුවිය.

142 වැනි සංවත්සර දිනට සමගාමීව සෙසුනිල භෝජනාගාරයේ පිළියෙල කරන ලද සියලු නිල දිවාභෝජන සංග්‍රහයට සහභාගී වූ රෙජිමේන්තු අධිපති පැමිණ සිටි සියලු නිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී වූ අතර, සංවත්සර සැමරුම් මාලාව රෙජිමේන්තු අධිපතිගේ මඟපෙන්වීම මත, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරිණි

''අභිමන් මුදුනත'' රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී වන ලදී. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙන් බිහි වූ හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපතිවරයෙකු වන මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුලු හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, පාබල හමුදා සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සේවයේ යෙදී සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උළෙල පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාභිමානය රකිමින් 1881 වර්ෂයේ පාබල හමුදාව ස්ථාපනය කළ දින සිට අවසන් මානුෂීය මෙහෙයුම දක්වා රට දැය වෙනුවෙන් ප්‍රාණදානය ලබාදෙමින් මිහිතලය සිපගත් රණවිරුවන් 3744 ක් වෙත රෙජිමේන්තුවේ ගෞරවනීය උත්තමාචාරය පුදකිරීම වෙනුවෙන් මෙම සැමරුම සංවිධානය කර තිබුණි. යුද්ධ හමුදාවේ අභිමානය හා ජීවගුණය ආරක්ෂා කරමින් විචිත්‍රවත් ලෙස සිදුකෙරුනු මෙම රණවිරු සැමරුම් උළලේ දී රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විසින් මාතෘභූමිය හා වෘත්තිය අභිමානය පෙරටු කරගනිමින් අද්විතීය ජාතික මෙහෙවරක් ඉටුකර ශ්‍රේෂ්ඨත්වයට පත් එම වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාරය පුදකරන ලදී.

එදින සන්ධ්‍යාවේ දී මියගිය රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකිරීම වෙනුවෙන් සධාතුක කරඩුව වැඩම කරවා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වූ අතර, මෙහිදී රෙජිමේන්තු හා බළඇණි වර්ණ ධජ වෙත ආශිර්වාදය පුදකර පසුදින සංඝයා වහන්සේලා වෙත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුව 2023 රණවිරු සැමරුම් උත්සව මාලාවේ සියලු වැඩකටයුතු සමාප්තියට පත්කෙරිණි.

මෙම උත්සවමාලාවේ සියලු වැඩකටයුතු රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ මෙහෙයවීමෙන් සිදු වූ අතර, රෙජිමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල පිරිසකගේ දායකත්වය හා බළඇණි වෙතින් ලද සුවිශේෂී ශ්‍රම දායකත්වය මත එය සාර්ථකව සිදුකර ගැනීමට හැකි විය.