Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th November 2022 16:03:27 Hours

141 වසරක අභිමානය සැමරූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජි‍මේන්තුව සිය අභිමානවත් 141 වන සංවත්සරය 2022 ක් වූ ඔක්තෝබර් මස 28 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. 1989 ජුනි මස 30 වන දිනට යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේ දී වර්ෂ 1989 ක් වූ ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර, එදා මෙදා තුර “සේවය කරමි” යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.

141 වන රෙජිමේන්තු දින සැමරුම් උළෙලෙහි සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස දී කඳවුරු මුරයක් පිරිනමා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී අභිමානවත් සම්මාන මුරයක උත්තමාචාරය පුදකරනු ලැබීය. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, උත්සවය සඳහා පැමිණ සිටි සියලු නිලයින් අමතමින් කාලෝචිත හා හරවත් දේශණයක් සිදුකරන ලදී. එහි දී 2022 වසරේ පැවති පාලන පරීක්ෂාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් නිත්‍ය, ස්වේච්ජා බළඇණි හා අන්තර් බළඇණි සරඹ තරඟාවලියේ දී දක්ෂතා දැක් වූ සරඹ කණ්ඩායම් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුවිය.

141 වැනි සංවත්සර දින තවත් එක් සුවිශේෂී අංගයක් ලෙස, රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේහි පහසුකම් සපයන ගොඩනැගිල්ලෙහි නවතමයෙන් ඉදිකරන ලද බීමහල එතුමාගේ සුරතින් විවෘත කෙරිණ. සෙසුනිල භෝජනාගාරයේ පිළියෙල කරන ලද සියලු නිල දිවාභෝජන සංග්‍රහය වෙත සහභාගී වූ රෙජිමේන්තු අධිපති තුමන් පැමිණ සිටි සියලු නිලයන් සමග සුහද පිළිසඳරක නියලෙන ලදී. මෙම සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර, සංවත්සර සැමරුම් මාලාව රෙජිමේන්තු අධිපතිගේ මඟපෙන්වීම මත, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සුජිත් කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරිණ.