08th April 2026 19:33:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වෙනි මාණ්ඩලික ප්‍රධානී ලෙස 2026.04.02 වෙනි දින රාජකාරී ඇරඹූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සව මාලාව 2026.04.07 වෙනි දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව මාණ්ඩලික ප්‍රධානීතුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ජීඒඑස්ඩබ්ලිව්එම්ආර්පීඩබ්ලිව්එස්පීබී ගලගම ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ගෞරවපූර්වකව පිළිගන්නා ලදී. අනතුරුව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු සරඹභූමිය වෙත සපැමිණි මාණ්ඩලික ප්‍රධානී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ආචාර පීඨිකාව අසල දී පිළිගෙන සරඹභූමිය වෙත කැඳවාගෙන යන ලදී. එහි දී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් සම්මාන මුරයක් පිරිනමන ලදී.
ඉන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිත පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. ඉන්පසු භට පිරිස් අමතා විනයගරුක යුද්ධ හමුදාවක් තුළ පාබල හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය පිළිබඳව හරවත් දේශනයක් සිදුකළ අතර, රටට ස්ථීර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබා දුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසු නිලයන් හට තම ප්‍රණාමය පුද කරන ලදී. අවසන් වශයෙන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වූ නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් පැමිණ සිටි නිලධාරීන් හා සෙසුනිලයන් සමඟ සුහද පිළිසඳරක යෙදීමෙන් අනතුරුව රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසින් අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ පිරිනමන්නෙමු.