Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th June 2022 19:05:48 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022.06.08 වන දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සුබ මොහොතින් සිය වැඩ භාරගන්නා ලදී. දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී මීට ප්‍රථම පිළිවෙලින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, අඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වැනි යුද්ධ හමුදාව තුළ ප්‍රබල තනතුරු රාශියක රාජකාරීන් සිදු කර මනා දැනුමකින් හා වෘත්තීය නිපුණත්වයකින් හෙබි කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

1986 ඔක්තෝම්බර් මස 27 දින නිත්‍ය බඳවාගැනීම් අංක 26 වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ පාකිස්තාන හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ තුන්වන බලඇණියට අනුයුක්තව රාජකාරි ආරම්භ කරන ලදී. එතැන් පටන් 6 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු වශයෙන් ශ්‍රීලපාහ බළඇණියන්හී දැරිය යුතු සියලුම තනතුරු හොබවා දැඩි කැපවීමකින් හා වගකීමකින් යුතුව තම රාජකාරී ඉටු කිරීමෙන් අනතුරුව 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව මෙහෙයවීමේ මහගු භාග්‍යය ද උදාකර ගන්නා ලදී. ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි තම රාජකාරීන් ඉටු කරන ලද දක්‍ෂ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරියෙකු හා උපදේශකයෙකු ලෙස වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති අතර, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 මනෝවිද්‍යාත්මක අධ්‍යක්‍ෂක මණ්ඩලය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 රෙම ශ්‍රීලපාහ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 පුහුණුඅම, ජ්‍යේෂ්ඨ උපදේශක සාමසාධක පුහුණු පාසැල - කුකුලේ ඟඟ, නිලධාරී අණදෙන පුහුණු අංශය රෙම ශ්‍රීලපාහ, මාණ්ඩලික නිලධාරී 1 (පාලන) රෙම ශ්‍රීලපාහ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) 21 සේනාංක මුලස්ථානය, මධ්‍යස්ථාන සේනාවිධායක රෙම ශ්‍රීලපාහ, 532 හා 512 යන බළසේනාවන්හි බළසේනාධිපති, ඒකාබද්ධ ආරක්‍ෂක සම්බන්ධීකරණ යුද්ධ හමුදා මුලස්ථානය, සේනාවිධායක පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය, හමුදා සම්බන්ධිකරණ නිලධාරී - ආරක්‍ෂක අමාත්‍යාංශය, සේනාවිධායක යුද්ධ හමුදා පුහුණු පාසැල මාදුරුඔය, සේනාංකාධිපති 66 පාබල සේනාංකය, යන තනතුරු හොබවා ඇත. තවද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී වෘත්තීමය මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් ද සමන්විත වූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, දේශීය මෙන්ම විදේශීය පාඨමාලා සහ විදේශීය වැඩමුලු රාශියකට සහභාගි වී ඇති අතර, ඒකක අණදෙන නිලධාරියෙකු සහ බලසේනාධිපතිවරයෙකු වශයෙන් අවසන් මානුෂිය මෙහෙයුම කාලපරිජේදයෙහි මෙතුමා අනගිභවනීය සේවයක් යුද හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාද්වීපයට ලබාදී ඇත. එම ක්‍රියාන්විතයන්හී ප්‍රදර්ශනය කරන ලද රණකාමීත්වය ඇගයීම වස් මෙතුමන් හට රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම හා දේශපුත්‍ර පදක්කම් හිමිගන්වා ඇත.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසින් අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන් වෙත රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ ගෞරවණීය උත්තමාචාරය මෙසේ පිළිගන්වනු ලබයි.