Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd March 2025 21:47:02 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් ඒසීජේ වාසගේ

වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඒසීජේ වාසගේ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 28 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ට සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා උත්කර්ෂවත් සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියට සහභාගී වූ සියලුම භටපිරිස් අමතා වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනැමීම වෙනුවෙන් තම ස්තූතිය පුදකළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී.

තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී සෙසුනිළයින් හා තම සහෝදර නිලධාරීන් සමග සුහද පිළිසඳරක නියැලීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස දී නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මාර්ගය දෙපස රැස්වූ සියලුම නිලයන් විසින් විශ්‍රාම යෑම සඳහා රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යන ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත තම සුබාශිංසන පුදකළ අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

විශ්‍රාම යන බ්‍රිගේඩියර් ඒසීජේ වාසගේ ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි, ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ආඥාපති ආසේමූ (යාපනය) සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු පාබල හමුදාවේ සියලුම නිලයින් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.