Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th July 2019 14:20:09 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී

වසර 34 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවතුල අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන අභිත සෙන්පති, මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී 2019.07.23 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

රාගම මහ රෝහලේදී වර්ෂ 1964 ක් වු ජූලි මස 24 දින ප්‍රභූ පවුලක උපත ලද ජිනේද්‍ර රාජිත අම්පෙමොහොට්ටි තම ප්‍රාථමික අධ්‍යාපනය ගලහිටියාව ප්‍රාථමික විද්‍යාලය වෙතින් හදාරා ඉන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලය වෙත ඇතුළත් වන ලදී. පාසල් කාලය තුලදී ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය සහ විෂයානුබද්ධ භාහිර ක්‍රියාකාරකම් මෙන්ම ක්‍රීඩාවන් සඳහාද විශේෂයෙන් බොක්ෂිං ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසළතාවයන් දැක්වීම හේතුවෙන් විද්‍යාලයේ දීප්තිමත්ම ශිෂ්‍යයෙකු වශයෙන් කැපී පෙනෙන දක්ෂතාවයන් ප්‍රදර්ශනය කර ඇත.

යුද්ධ හමුදාව වෙත දක්‍ෂ නිලධාරීන් අත්‍යවශ්‍යම යුගයක භද්‍රයෞවනයේදී මාතෘ භූමිය වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව හඳුනාගනිමින් වර්ෂ 1985 ක් වු ජූනි මස 06 වන දින ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය වෙත තරුණ කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් මෙතුමන් ඇතුලත්වන ලදී. මුලික යුද පුහුණුව අති සාර්ථක ලෙස නිම කිරිමෙන් අනතුරුව වර්ෂ 1986 ක් වු අපේ‍්‍රල් මස 25 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව අභිමානවත් ශ‍්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙහි 3 වන බළඇණිය ශ‍්‍රී ලංකා පාබල හමුදාව වෙත ඛණ්ඩ භාර නිලධාරියෙකු වශයෙන් අනුයුක්ත කරන ලදි.

පාබල ඒකකයක් තුල නිලධාරියෙකු ලෙස දැරිය යුතු සියලූම තනතුරු මෙතුමා විසින් හොබවා ඇත. ලංකා ද්වීපයේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් රුදුරු ත‍්‍රස්ථවාදයට එරෙහිව සටන් වැදීමේදී මෙතුමා 1990 ඔක්තෝබර් මස 17 වැනි දින ත‍්‍රස්ථවාදීන්ගේ ඉලක්කයකට ගොදුරුවී ස්ථිර වෛද්‍ය වර්ගකිරීමේ මත සිට වුවද තමන්ගේ රාජකාරිය මනාලෙස ඉටුකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මූලස්ථාන බළඇණිය ශ‍්‍රී ලංකා පාබල හමුදාවෙහි වැඩ බලන අණදෙන නිලධාරි තනතුර හොබවන ලද අතර එහිදී එම ඒකකයේ භඨපිරිස් සදහා සිදුකරන ලද සුභසාධන කටයුතු වර්ථමානයේ වුවද එම ඒකක පැරණි සාමාජිකයින් කෘතවේදිව සිහි කරනු ලබයි. මාතෘ භූමියෙහී ඒකීයභාවය ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරිම සදහා ලබාදී ඇති අභීත රණකාමිත්වය හේතුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි රණශූර පදක්කමෙන් පිදුම්ලබා ඇත.

එතුමන් තම හමුදා ජීවිතය තුල අනුපමේය සේවාවක් යුද්ධ හමුදාව වෙත සිදුකර ඇති අතර විවිධ තනතුරු දරා ඇත. ඒ අතරින් පාඨමාලා භාර නිළධාරි යුහවිපි දියතලාව, මානි I පුනරුත්තාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පුනරුත්තාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය, අධ්‍යක්‍ෂ මානව හිමිකම් හා මානව හිමිකම් නීතිය - යුහමූ යන ස්ථාන කැපී පෙනේ.

මෙතුමා ක‍්‍රීඩකයෙකු වශයෙන් රටවල් ගණනාවක තරගාවලි සඳහා සහභාගිවී පාබල හමුදාවට මෙන්ම යුද හමුදාවට ඉමහත් කීර්තියක් අත්කර දී ඇති අතරම සංගීතය අතින් ගත්කල ඉතා දක්‍ෂ සංගීත ශිල්පියෙකි රණවිරු රියල් ස්ටාර් රියලිටි තරගාවලියේ නවක ගායකයින් සමගින් කරටකර සටනක් ලබාදුන් මෙතුමා එහි 4 වන ස්ථානය ලබා ගනිමින් පාබල හමුදාවට විශාල කීර්තියක් අත්කරදීමට සමත්වන ලද අතර, සංගීතයට අදාලව විවිධ විදේශීය සංචාර සඳහා සහභාගිවී ඒ පිලිබඳව මනා පලපුරුද්දක් හා අත්දැකීම් බහුලව ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි මෙම නිලධාරි තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාණ මුරයක් ලබා දී පිළිගැනීමේන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථානය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් ආචාර පීඨීකාව වෙත කැදවාගෙන යන ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ නිදහස වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී.

ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් සමග සමූහ ජායාරූපයකට පෙනීසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බනිසැර නිවස්නයේදී සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේතුමන් හට සමුදීම සඳහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වූ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන ලදී.

ඉන් අනතුරුව විශ්‍රාම ගන්නා ලද මේජර් මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් සහ එම මැතිණිය වන දිල්රුක්ෂි අම්පෙමොහොට්ටි මැතිණිය වෙනුවෙන් ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ එම මැතිණියන්ගේ සහභාගීත්වයෙන් සන්ධ්‍යා කාලයේ නිලධාරි නිවස්නයේදි රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා සමරු තිළිණයක් පිළිගන්වා මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සේවය අගයමින් සහ ඉදිරි අනාගතයට සුභ පතමින් හරවත් කථාවක් පවත්වා සුභ පතන ලදී.