Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th October 2018 20:31:24 Hours

ලක් දෙරණ රනින්, රීදීයෙන් බැබලවූ ශ්‍රීලපාහ ක්‍රිඩා තරු

2018 ආසියානු ක්‍රිඩා උළෙලට සමගාමීව පැවති තුන්වන ආසියානු පැරා ක්‍රිඩා උළෙල 2018 ඔක්තෝබර් මස 06 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වූ අතර එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවු ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සෙ/333793 සාසෙ අමිල ප්‍රසන්න ඩබ්ලිව් විශිෂ්ඨ දක්ෂකතා දක්වමින් නව ආසියානු පැරා වාර්තාවක් සමගින් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වු අතර, සෙ/216877 කෝප්‍රල් ඉන්දික එම්ජීඑම් දක්ෂතා දක්වමින් රීදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.

ආසියානු රටවල් 43 ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 2762 ක් පමණ සහභාගි වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කල අමිල ප්‍රසන්න පිරිමි මීටර් 200, T42/T63 ඉසව්වේ පළමු ස්ථානය ලබා ශ්‍රී ලංකාවට ක්‍රිඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා දීමට සමත් වූ අතර, පිරිමි මීටර් 100, T 42/63 ඉසව්ව තත්පර 12.56 කින් අවසන් කරමින් නව ආසියානු පැරා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ශ්‍රී ලංකා ධජය දෙවන වරටත් ජකර්තා නුවර GBK ක්‍රිඩාංගනයේ ගුවනට නැංවීමට සමත් විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි දුරපැනීම, T 44/62/64 තරග ඉසව්ව සඳහා සහභාගී වු නුවන් ඉන්දික එම ඉසව්වේ දෙවන ස්ථානය ලබා රීදි පදක්කම දිනාගැනීමට සමත්විය.

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රීක්කයේ මදුරන්කුලිය ග්‍රාමයෙහි උපත ලද අමිල ප්‍රසන්න පු/මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීමෙන් පසු දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය ආරක්ෂාව කිරීමේ අරමුණින් 2008 මාර්තු මස 03 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බළසේනාවට බැදී මුලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ 11 වන බළඇණිය වෙත ඇතුලත් වන ලදි. උතුරු මානුෂිය මෙහෙයුමේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී ත්‍රස්ථවාදී වෙඩි ප්‍රහාරයකට ලක්ව දකුණු පාදය අප්‍රාණික වී පහත් වෛද්‍ය වර්ගකිරීම් ලබා රෙජිමුබ ශ්‍රීලපාහ වෙත ඇතුලත්කර ඇති සාසෙ අමිල ප්‍රසන්න ඩබ්ලිව් රෙජිමුබ ශ්‍රීලපාහ ක්‍රිඩා අංශය හා සම්බන්ධ වී දැඩි අධිෂ්ඨානයෙන් හා නොපසුබට වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිය සහජ දක්ෂශතා ඔප්නංවාගෙන යුද්ධ හමුදා පැරා තරගාවලි හා ජාතික පැරා තරගාවලි සඳහා සහභාගි වී මලල ක්‍රිඩා ඉසව් වලදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වී ඇත.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැටීය ග්‍රාමයෙහි උපත ලද නුවන් ඉන්දිකහ/වැටි/ධර්මපාල මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීමෙන් පසු දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් 2008 පෙබරවාරි මස 28 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්යම බළසේනාවට බැදී මුලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන බළඇණිය වෙත ඇතුලත් වන ලදි. උතුරු මානුෂිය මෙහෙයුමේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී ත්‍රස්ථවාදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව දකුණු පාදයේ දණහිසෙන් පහළ සහ වම් පාදයේ දණහිසට ඉහළ ප්‍රදේශයට තුවාල සිදුවීමෙන් පසු පහත් වෛද්‍ය වර්ගකිරීම් ලබා රෙජිමුබ ශ්‍රීලපාහ වෙත ඇතුලත්කර ඇති කෝප්‍රල් ඉන්දික එම්ජීඑන් රෙජිමුබ ශ්‍රීලපාහ ක්‍රිඩා අංශයට ඇතුලත්ව දැඩි කැපවීමෙන් හා අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් සිය සහජ දක්ෂතා ඔප්නංවාගෙන යුද්ධ හමුදා පැරා තරගාවලි සඳහා සහභාගි වී මලල ක්‍රිඩා ඉසව් වලදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වී ඇත.

ශ්‍රී ලාංකීය මලල ක්‍රිඩාව සඳහා අති දක්ෂ ක්‍රිඩකයන් දයාද කල ශ්‍රී ලංකා පාබල හමුදාව, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ ආශිර්වාදයෙන් යුතුව තුන්වන ආසියානු පැරා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල ශ්‍රීලපාහ ක්‍රිඩකයින් වෙනුවෙන් තරගාවලියට සහභාගීවීමට ප්‍රථම මුල්‍යමය දායකත්වය ලබාදෙමින් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදාවට සහ සමස්ථ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මහත් ගෞරවයක් හා අභිමානයක් එක්කරමින් තුන්වන ආසියානු පැරා තරගාවලියේදී අති විශිෂ්ඨ ක්‍රිඩා කෞශල්‍යක් විදහාපාමින් නව ආසියානු පැරා වාර්තාවක් සමගින් රන් පදක්කම් දෙකක් දිනාගත් සාසෙ අමිල ප්‍රසන්න ඩබ්ලිව් රණවිරුවා සහ කැපීපෙනෙන දක්ෂතා දක්වමින් රිදී පදක්කමක් දිනාගත් කෝප්‍රල් ඉන්දික එම්ජීඑන් රණවිරුවා ක්‍රිඩා උළෙල අවසන්ව 2018 ඔක්තෝබර් මස 14 වන දින මව්බිමට පැමිණි අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණ. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සුභාශිංසන පිළිගැන්වීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.