27th February 2025 12:57:34 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා ඒ යටතේ පාලනය වන බළඇණි වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් සේවාවක් සිදුකළ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025.03.01 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.
වර්ෂ 2024.05.06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 29 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් සිය රාජකාරී ඇරඹූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම අධීක්ෂණය යටතේ සිදුකරන ලද අතර, රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගේ පාලන හා සුබසාධන කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම සඳහා මනා දායකත්වයක් ලබාදෙන ලදී.
සමුගන්නා දින කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු නියෝජ්‍ය සේනාවිධායක විසින් එතුමන් ආචාර පීඨීකාව වෙත කැඳවාගෙන යෑමෙන් අනතුරුව අභිමානවත් සම්මාන පෙළපාලියක් පුද කරන ලදී. සම්මාන පෙළපාලියට සහභාගී වූ සියලුම භටපිරිස් අමතා වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනැමීම වෙනුවෙන් තම ස්තූතිය පුදකළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස දී නිලධාරීන් හා ජ්‍යෙකොනොනීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගීවී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකද නියැලෙන ලදී.
මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක්කරමින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. නික්ම යන 29 වෙනි මධ්‍යස්ථාන සේනාවිධායකතුමණි, ඔබගේ ඉදිරි හමුදා දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි රෙජිමේන්තු අධිපති ඇතුළු පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙලෙස එක්කරන්නෙමු.