Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th June 2024 21:26:25 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජීපී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජීපී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1988.01.07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1988.06.17 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව 9 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියට ඇතුලත්ව එහි දෙවන අණදෙන නිලධාරී තනතුර හා අණදෙන නිලධාරීයෙකු ලෙස එම බළඇණිය මෙහෙයවීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.

තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාව තුළ විවිධ නිලතල හොබවා ඇත. ඒ අතරින් කර්නල් සම්බන්ධිකරණ නිලධාරි (සෙව්)- ආරක‍්ෂක සේනා මුලස්ථානය (යාපනය), කර්නල් සම්බන්ධිකරණ නිලධාරි (සෙව්) - 24 වන පාබල සේනාංකය, කර්නල් සම්බන්ධිකරණ නිලධාරි (සෙව්) - 68 වන පාබල සේනාංකය, සෙව් සම්බන්ධිකරණ නිලධාරි - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රීලපාහ, සෙව් සම්බන්ධිකරණ නිලධාරි - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රීලයුකාබ, කර්නල් (පුහුණු) - යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, අණදෙන නිලධාරි - යුද්ධ හමුදා පලවන රයිෆල් බලකාය, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී (සෙව්) - ආරක‍ෂක සේනා මුලස්ථානය (යාපනය), බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී (සෙව්) - ආරක‍්ෂක සේනා මුලස්ථානය (බටහිර), පුහුණු පරික‍්ෂක - යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව ආදී තනතුරු විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එමෙන්ම වර්ථමානයේ ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් රාජකාරි සිදුකරණු ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී 1990 වර්ෂයේ සිට යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම දායකත්වය ලබාදී තම යුද්ධ හමුදා දිවියේ ක්‍රියාන්විතයන්හීදී දක්වන ලද නිර්භීතභාවය හා රණකාමීත්වය වෙනුවෙන් ලබාදෙනු ලබන රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2024 ක්වූ ජුනි මස 12 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජීපී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී පැමිණ සිටි සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලෙන ලදී. මෙම අභිමානවත් උත්සවය යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධාය‍කගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.