12th February 2025 08:20:54 Hours
මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යේෂඨ නිලධාරී තම මුලික යුද පුහුණුව පකිස්ථානයේ යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් පාඨමාලා අංක 2 යටතේ සාර්ථකව නිම කිරිමෙන් පසු වර්ෂ 1991 මාර්තු මස 13 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරියෙකූ ලෙස අනුයුක්ත කරන ලදී. ඉන් පසු එම ඒකකයෙහිිම විධායක අධිකාරී මෙන්ම කණ්ඩායමි භාර නිලධාරී තනතුරු කිහිපයක්ම හොබවන ලද අතර, තම රාජකාරී දිවියේ අත්දැකීම් එකතුකර ගනිමින් 15 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද 12 වන බළඇණිය ශ්‍රි ලංකා පාබළ හමුදාව මෙහෙයවීමේ නියමුවෙකු වීමේ මහඟු භාග්‍යයද උදාකරගන්නා ලදී.
තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, මානි 2 (සහකාර) - ජනමාධ්‍ය අධ්‍යකෂ මණ්ඩලය, මානි 2 (පුහුණු) - අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, මානි 1 (පාලන) - රෙම ශ්‍රිලපාහ, පර්යේෂන හා සමිබන්ධිකරණ නිලධාරී- කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, කර්නල් (ප්‍රමානි) - ආසේමූ (නැගෙනහිර), කර්නල් (ප්‍රමානි) - ප්‍රධාන මාණ්ඩලික ශාඛාව, බලසේනාධිපති - 622, 211 පාබල බලසේනා, බ්‍රිගේඩියර් සමිබන්ධිකරණ (ත්‍රිවිධ හමුදා ඉඩම් උතුරු හා නැගෙනහිර) - ඉඩම් හා දේපල අධ්යක්ෂ මණ්ඩලය වැනි යුද හමුදාව තුළ සුවිශේෂී තනතුරු හොබවා ඇති අතර, මේ වන විට 54 පාබල සේනාංකාධිපති ලෙස රාජකාරි සිදුකරණු ලබයි.
තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය වශයෙන් බළඇණි ආධාරක අවි සංස්කරණ පාඨමාලාව, අණ සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යනය පිළිබදව ශ්රාස්ත්රපති උපාධිය ද හිමිකරගෙන ඇත.
මෙතුමන් හදාරා ඇති විදේශීය පාඨමාලාවන් වශයෙන්, කෙටි සේවා කොමිෂන් සභා පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරි පාඨමාලාව සහ බළඇණි මෝටාර් අවි පාඨමාලාව - ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - පාකිස්ථානය හා ඇමරිකාවේදී යුධ හමුදා සිවිල් (ආරක්ෂක අධ්‍යනය) පිළිබද ශ්රාස්ත්රපති උපාධිය ද හිමිකරගෙන ඇති දැනුමින් පිරිපුන් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
1991 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කළ සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී අකුණු පහර, බලවෙිගය, සත්ජය, තන්ඩර් ස්ට්‍රයික්, රිවිරැස අදියර 1 සිට 3 දක්වා, ජයසිකුරු අදියර 1 සිට 4 දක්වා, රණගොස, වොටර් ෂෙඩ්, අග්නිකීල, කිනිහිර, රිවිකිරණ ආදී මෙහෙයුම් විශේෂයෙන් සඳහන් කළයුතු අතර, එම ක්‍රියාන්විතයන්හිදී දක්වන ලද නිර්භීතභාවය රණකාමිත්වය වෙනුවෙන් මෙතුමන් රණවික්‍රම හා රණශූර යන පදක්කම්වලින් පිදුම් ලබා ඇත.
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ පෙබරවාරි මස 07 වන දින පාබල හමුදා රෙජිමේන්තුවට සපැමිණි මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයෙන් පිරිනමනු ලැබීය. අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. අනතුරුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලීමෙන් පසුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. මෙම අභිමානවත් උත්සවය ආඥාපති ආසේමූ (යාපනය) හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.