Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th February 2019 17:44:18 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී

කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ හේරත් මුදියන්සේලාගේ ජයන්ත කුමාර ගුණරත්න තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1985 ඔක්තෝබර් මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 22 යටතේ යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව හා නිලධාරි පුහුණු පාසල - පාකිස්ථානය වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1986 ජුලි මස 24 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණියට ඇතුළත් විය.

පාබල නිලධාරියෙකු වශයෙන් තම සේවා කාලය තුලදී ජ්‍යෙෂ්ඨත්වයට හා නිලයට සරිලන පරිදි විවිධ නිලතල හා තනතුරු හෙබවීමට භාග්‍යය ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණකාමී පාබල ඒකකයක් වන 3 ශ්‍රීලපාහ ඒකකයේ ඛණ්ඩ භාර නිලධාරි, කණ්ඩායම් භාර නිලධාරි අණදෙන, ක්‍රියාන්විත හා පුහුණු භාර නිලධාරි අණදෙන හා දෙවන අණදෙන නිලධාරි වශයෙන් දැඩි කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරි ඉටුකිරීමෙන් පසු 10 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් පත්වීම් ලැබ 10 ශ්‍රීලපාහ ඒකකය නැවත නගාසිටුවීමේ අභියෝගාත්මක කාර්යය ඉතා සාර්ථකව ඉටුකරන ලදී. අරෙසේ පත්වීම් යටතේ බළසේනා මේජර්, ප්‍රමානි II, මානි II, කර්නල් ප්‍රමානි වැනි තනතුරු දරමින් තම හැකියාවන් හා දක්ෂතාවයන් පිළිබිඹු කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 225 බසේමු කානි බළසේනාධිපති ලෙසද, 593 බසේමු බළසේනාධිපති වශයෙන් ද,551 බසේමු බළසේනාධිපති වශයෙන් ද, 2වන කාර්ය සේනාංකයේ කානි සේනාංකාධිපති වශයෙන් ද, සටන් පුහුණු පාසල - අම්පාර හි සේනාවිධායක වශයෙන්ද, යුද්ධ හමුදා පුහුණු පාසල - මාදුරුඔය හි සේනාවිධායක වශයෙන් ද, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ‍්‍යක්ෂ වැනි දැඩි වගකීම් සහිත තනතුරු රාශියක් හොබවා ඇති අතර වත්මන් හි 55 සේනාංකයේ සේනාංකාධිපති තනතුර හොබවනු ලබයි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, තම රණකාමිත්වය හා එඩිතරභාවය විදහා දක්වමින් වඩමාරච්චි, රිවිරැස, බලවේගය I, II, ත්‍රිවිධ පහර, වන්නි වික්‍රම I, II, තන්ඩර් ස්ට්‍රයික්, රිවිබල, රණගොස, ජයසිකුරු හා මානුෂීය මෙහෙයුම් යන ක්‍රියාන්විත සඳහා සක්‍රිය දායකත්වය උපරිම ලෙස ලබාදී ඇති අතර යුද බිමේදි දිවි පරදුවට තබමින් සතුරන් ඉදිරියේ තම මාතෘභුමිය ආරක්ෂා කරගැනිමේ ක්‍රියාන්විතවලදී දක්වන ලද සුවිශේෂී වු රණකාමීත්වය ඇගයිම වස් "වීර වික්‍රම විභූෂණ පදක්කම","රණ වික්‍රම පදක්කම" හා"රණ ශූර පදක්කම" වැනි වීර පදක්කම් වලින් පිදුම් ලබා ඇත. දේශීය හා විදේශිය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒ සියලු අත්දැකිම් මුසුකොට පරිනතභාවයෙන් හා දැඩි වගකිමකින් යුතුව පැවරෙන සියලු රාජකාරි ඉතා උසස් මට්ටමින් ඉටුකරමින් සිටි.

පාබල හමුදාවට කීර්තියක් හා අභිමානයක් එක්කරමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2019ක්වූ පෙබරවාරි මස 08 වන දින සපැමිණි මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් පසු පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදී. අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ඉදිරිපත් කරන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයකට අනුව සකස් කරන ලද, ගෞරව පුද කිරිමේ උත්සවයේ ජායාරූප ඇතුලත් සමරු සිහිවටනය, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත පිළිගැන්විමෙන් පසු උත්සව අවස්ථාවේ නිමාව සනිටුහන් විය. මෙම ගෞරව පිරිනැමිමේ උත්සව අවස්ථාව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, රෙසැමේ ඇතුලු සියලුම නිලයින් සහභාගී විය.