Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th May 2018 18:52:24 Hours

අභිනවයෙන් විවෘත වු ශ්‍රීලපාහ වර්ණ ධජ තැන්පත් කිරිමේ කුටිය

වසර 137 ක් තරම් ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාවේ මුලාරම්භයයි. ආරම්භයේ සිටම බෝයර් යුද්ධය හා 1914 දෙවන ලෝක සංග්‍රාමයන් වලදී මෙම රෙජිමේන්තුව පෙරමුණ ගත් අතර, එහිදි දැක්වු විශේෂ කුසලතා වෙනුවෙන් 1922 මාර්තු මස 22 වන දින එංගලන්තයේ 7 වන එඩ්වඩ් රජු විසින් ප්‍රථම වරට ලංකා පාබල හමුදාව (CLI) වෙත රාජකීය වර්ණ ප්‍රදානය කරන ලදී. පසුව එළිසබෙත් කුමරිය රාජාභිෂේකය ලැබිමෙන් පසු 1954 වර්ෂයේ එතුමියගේ අභිමතාර්ථය අනුව රජු විසින් ප්‍රදානය කර තිබු රාජකීය සම්මාන වර්ණවල රාජකීයත්වය තහවුරු කිරීමට තීරණය කරන ලද අතර, ඒ අනුව 1954 අප්‍රේල් 21 වන දින කොළඹ ගාලුමුවදොර පිටියේදී 2වන එළිසබෙත් රැජිනගේ සුරතින් 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 ස්වේච්ජා බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත රාජිණි වර්ණ ප්‍රදානය සිදු කරන ලදී. ශ්‍රී ලංකාව ජන රජයක් වීමෙන් පසු 1974 වර්ෂයේ 1 ශ්‍රීලපාහ හා 2 (සෙව්) ශ්‍රීලපාහ වෙත ප්‍රදානය කරන ලද රාජකීය වර්ණ හා රෙජිමේන්තු වර්ණ රෙජිමේන්තු බළඇණි කෞතුකාගාරයේ තැන්පත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වු අතිගරු ජේආර් ජයවර්ධන මැතිඳුන්ගේ සුරතින් ප්‍රථම වරට 1978.10.10 වන දින 1 ශ්‍රීලපාහ හා 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකක වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ පනාගොඩ පිහිටි 1 ශ්‍රීලපාහ සරඹ පිටියේදී උත්සවාකාරයෙන් ප්‍රදානය කරන ලදී.

ඉන්පසු 1989.10.23 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ස්ථාපිත කළ අතර, වර්ණ ලබාදී වසර 25කට පසුව එනම් වර්ෂ 2013 වර්ෂයේදී ප්‍රථිප්‍රදානය සිදුකල යුතු වුවත් විවිධ කරුණු හේතුවෙන් වර්ණ ප්‍රදානය කිරිමට නොහැකි වු අතර, 2015 ක් වු ඔක්තෝබර් මස 26 වන දින එවකට රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් කරන ලද ගෞරවනීය ආරාධනයෙන් සපැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කළ අතර, 1 ශ්‍රීලපාහ, 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයන් වෙත ජනාධිපති වර්ණ හා ඒකක වර්ණ ප්‍රතිප්‍රධානය කරන ලදී. ප්‍රදානය කරන ලද වර්ණ ධජ ගෞරවාන්විතව තැන්පත් කිරිම සඳහා වර්ණ තැන්පත් කිරිමේ කුටියක් නවතමයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කරන ලද අතර, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් 2018.05.09 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, ඇතුලු මහාභාරකාර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, සේනාවිධායක බ්‍රිගේඩිර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී හා නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය, 1 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 2 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් විශාල පිරිසක් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී වන ලදී.