Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

25th December 2024 10:20:00 Hours

75 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරීම

75 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරීම

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවේ 75 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 09 දින සිට 20 දින දක්වා එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සව මාලාවක් පැවැත්විය.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණවීම හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙන්ම සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශීර්වාද එක් කරමින් පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීය.

සංවත්සර දිනය නිමිත්තෙන් එම රෙජිමේන්තුවේ අභිමානය විදහා දක්වමින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියක් පැවැත්වූ අතර, 75 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද එළිදැක්වීම සිදු විය.

අනතුරුව, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එදින සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විය. එහිදී, එම බලකාය වෙනුවෙන් ජාතික ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගත් භටපිරිස් වෙත මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව, 2024 දෙසැම්බර් මස 18 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන බලළත් නිලධාරි සහ සැරයන් නිවස්නයෙදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. බලකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහභාගී වූහ.

සංවත්සර උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අප්සරා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම බලකායේ රාජකාරි කරනු ලබන සාමාජිකයන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ලබා දීමේ විශේෂ උත්සවයක් 2024 දෙසැම්බර් මස 20 දින සංවිධානය කරන ලදී.