Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th May 2023 18:14:18 Hours

ගංවතුර උවදුරෙන් විපතට පත් ජනතාවට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පිසූ ආහාර පාර්සල්

මීගමුව කටුවාපිටිය සහ සෙල්ලකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සිකුරාදා (5) දින ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුකළ මුදවාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුව 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් ගංවතුර උවදුරෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් 400 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.

සිකුරාදා (5) දින මධ්‍යහන වනවිට එම ප්‍රදේශවල ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසුව, භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී එම ප්‍රදේශවල වෙසෙන වැඩිහිටියන්, රෝගීන් සහ පීඩාවට පත් අනෙකුත් ජනතාව පැය කිහිපයක් ඇතුළත එම ප්‍රදේශවලින් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකරනු ලැබීය.

අනපේක්‍ෂිත ලෙස ඇති වූ මෙම උවදුරෙන් අවතැන් වූ වැසියන් පිළිබඳ සැලකිලිමත් වූ භටපිරිස් මධ්‍යහන වනවිට ඔවුන්ට දිවා ආහාර පාර්සල් 50 ක් බෙදාදීමට පියවර ගනු ලැබිණි. තවදුරටත් එම ප්‍රදේශයන්හි ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාමත් සමඟ, භටපිරිස් සන්ධ්‍යාවේ තවත් ආහාර පාර්සල් 350 ක් එම වැසියන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙන ලදී.

එදින උදෑසන යුද්ධ හමුදා නිලධාරින් 03 දෙනෙකු සහ සෙසුනිලයන් 23 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ගංවතුරෙන් අවතැන් වූ වැසියන් 20 දෙනෙකුට අධික පිරිසක් කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ අතර තවත් පුද්ගලයින් දස දෙනෙකුට මීගමුව මුස්ලිම් පල්ලියේ පහසුකම් සලසා දී ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එන්.ආර්.එන්.කේ. ජයමාන්න ආර්ඩබ්ලිව්පී සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ජී.බී. කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත භටපිරිස් මුදවාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සඳහා කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඒ උඩරටගේ විසින් සිදුකරනු ලැබීය.